නාවික හමුදාව තවත් ප්‍රජා සත්කාරක වැඩසටහනක් ක්‍රියාත්මක කරයි - කොළඹ, ගාලු මුවදොර පිටිය ප්ලාස්ටික් අපද්‍රව්‍ය වලින් තොර කලාපයක් බවට පත් කිරීමේ නාවික හමුදා මෙහෙයුම

දේශිය හා විදේශිය සංචාරකයින් වැඩි වශයෙන් නැරඹිමට පැමිණෙන ගාලු මුවදොර පිටිය සහ වෙරළ තීරයට පොලිතීන් හා ප්ලාස්ටික් වලින් සිදුවන පාරිසරික හානිය ඉතා විශාල වන අතර, ඒ සඳහා විසඳුමක් ලෙස නිර්මාණාත්මක හා ආකාර්ෂණීය කසල බදුන් ස්ථාපිත කිරීමට අද (2020 ජනවාරි 07) නාවික හමුදාව කටයුතු කරන ලදී.

දිරාපත් නොවන අපද්‍රව්‍යන් වන පොලිතීන් හා ප්ලාස්ටික් වලින් සිදුවන පාරිසරික හානිය පිළිබඳව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් විශේෂ අවධානයක් යොමු කර ඇති අතර, ඒ අනුව මහජනතාව විසින් සිදු කරන අවිධිමත් කසල බැහැර කිරීම නැවැත්වීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක වැඩසටහනක් ලෙස නිර්මාණාත්මක කසල බදුන් මෙලෙස ස්ථාපිත කරන ලදී. තවද, සාගර පරිසර පද්ධතිය සුරැකීම උදෙසා මත්ස්‍යය අනුරුවක් සහිතව මෙම කසල බදුන් නිර්මාණය කර ඇති හෙයින්, එය මහජනතාවගේ වැඩි ආකර්ෂණයට ද ලක් වී ඇත. එමඟින් ගාලු මුවදොර පිටිය හා වෙරළ ප්ලාස්ටික් වලින් තොර දේශීය හා විදේශීය සංචාරකයින්ගෙන් පිරුණු සුන්දර ස්ථානයක් බවට පත් කිරීම නාවික හමුදාව අපේක්‍ෂා කරයි.

තවද, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉවතලන පොලිතීන් සහ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය තුලින් විසිතුරු භාණ්ඩ, මල් පෝච්චි, කම්බි කණු සහ උද්‍යාන ඇතුරුම් ගල් ආදී නිෂ්පාදන කිරීමට මේවන විට කටයුතු කරන අතර, ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ පෙර සැකසුම් මධ්‍යස්ථාන කිහිපයක් ද ස්ථාපිත කර ක්‍රියාත්මක කරගෙන යනු ලබයි.

මෙවැනි ප්‍රජා සත්කාරක වැඩසටහන් තුලින් ප්ලාස්ටික් සහ පොලිතීන් වලින් තොර ශ්‍රී ලංකාවක් බිහි කිරීමට නාවික හමුදාව අපේක්‍ෂා කරන අතර, ඒ සඳහා ශ්‍රී ලාංකීක අප සැම අත්වැල් බැඳ ගනිමින් කටයුතු කල යුතුව ඇත.