තහනම් දැල් සමග පුද්ගලයින් දෙදෙනෙක් (02) අත් අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්යය බලකාය එක්ව 2020 ජනවාරි 07 වන දින යාපනය ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී තහනම් දැල් සමග පුද්ගලයින් දෙදෙනෙක් (02) අත් අඩංගුවට ගෙන ඇත.

නීති විරෝධී ධීවර දැල් භාවිතයෙන් සිදුවන සාගර පරිසර හානිය වැලැක්වීම සඳහා නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්යය බලකාය එක්ව ක්‍රියාත්මක කරනු ලැබූ මෙහෙයුමකදී යාපනය, අම්බිගානගර් ප්‍රදේශයේ නිවසක් තුළ තිබී නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීමට යොදා ගත් තහනම් දැල් දෙකක් (02) සොයාගෙන ඇත. එහිදී නිවසේ සිටි සැකකරුවන් දෙ‍දෙනෙකු (02) ද අත් අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති අතර, ඔවුන් වයස අවුරුදු 46 සහ 50 වන වියෙහි පසුවන යාපනය, කන්නපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින් සහ දැල් පිළිබඳ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.