ධීවරයින්ගේ මා දැල් වලට හසු වූ කැස්බෑවන් නාවික හමුදා මැදිහත් වීමෙන් නැවත සාගරයට මුදාහැරේ

නාවික හමුදාව විසින් පසුගිය දින කිහිපය පුරා මන්නාරම වෙරළ තීරයේදී ධීවරයින්ගේ දැල්වලට හසුවී සිටි කැස්බෑවන් බේරා ගැනීමට සමත් වී ඇත.

සාගර සම්පත් සුරැකීම පිණිස ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිරන්තරයෙන් මෙහෙයුම් සිදු කරමින් ඒ සඳහා දැඩි කැපවීමෙන් කටයුතු කරනු ලබයි. ඒ අනුව පසුගිය දින කිහිපය පුරා තලෙයිමන්නාරම වෙරළ තීරයෙහි සිදු කල මුර සංචාරයන්හීදී මාදැල් ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයින්ගේ දැල් වලට හසුවූ කැස්බෑවන් දසදෙනෙකු (10) පමණ ඉන් මුදාගෙන නැවත සාගරය වෙත මුදාහැරීමට නාවික හමුදාව කටයුතු කරන ලදී.

තවද, දිවයින වටා වූ මුහුදු ප්‍රදේශය මෙන්ම වෙරළ තීරයේ නාවික හමුදාව විසින් දෛනිකව මුර සංචාර සහ සෝදිසි කිරිම් සිදු කරනු ලබන අතර, එහිදී නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ නිරත වන පුද්ගලයින් සහ මා දැල් කර්මාන්තයේදී සිදුවන මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් නාවික හමුදාව අවධානයෙන් කටයුතු කරනු ලබයි. එමෙන්ම, පුද්ගලයින් විසින් ධීවර කර්මාන්තයේ යෙදමින් නීති විරෝධී ලෙස අල්ලන ලද කැස්බෑවන් මෙන්ම මා දැල් වලට හසුවන කැස්බෑවන් විශාල ප්‍රමාණයකගේ ජිවිත බේරා ගනිමින්, නැවත සාගරයට මුදාහැරීමට මේවන විට නාවික හමුදාවට හැකිවී ඇත.

විශේෂයෙන්ම, වඳවී යන සත්ව විශේෂයක් ලෙස නම් කර ඇති කැස්බෑවන් වර්ග 07 ක් ලොව පුරා දැකිය හැකි වන අතර, එයින් වර්ග 05 කට අයත් කැස්බෑවන් ශ්‍රී ලංකා මුහුදු තීරයේදී දැක බලා ගත හැකිය. මෙම වඳවී යන සත්ව විශේෂය ආරක්‍ෂා කර ගැනීම සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ සංකල්පයක් මත ක්‍රියාත්මක ‘නීල හරිත සංග්‍රාමය’ යටතේ කැස්බෑ සංරක්‍ෂණය සඳහා ද නාවික පුද්ගලයින් සිය දායකත්වය සැපයීමට නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි.