මුහුදේ අනතුරට පත් ධීවරයින් හයදෙනෙකු (06) නාවික හමුදාව විසින් බේරා ගනි

නාවික හමුදාව විසින් අද (2020 ජනවාරි 13) මුහුදේදී අනතුරට පත්ව සිටි ධීවරයින් හයදෙනෙකු (06) බේරා ගැනීමට සමත් විය.

2020 ජනවාරි 12 වන දින හම්බන්තොට, කුඩාවැල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ බහුදින ධීවර යාත්‍රාවක් ගල් පරයක ගැටී අනතුරට පත්වී යාත්‍රාව තුළට ජලය කාන්දුවීම හේතුවෙන් මෙම ධීවරයින් හයදෙනා (06) මුහුදේ අතරමංව සිට ඇති අතර, මෙම අනතුර සම්බන්ධයෙන් තොරතුරු ලද විගස නාවික හමුදා මුලස්ථානයේ උපදෙස් මත නාවික හමුදා යාත්‍රාවක් එම ධීවරයින් මුදවා ගැනීමේ මෙහෙයුම සඳහා යෙදවීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, හම්බන්තොට මුහුදු ප්‍රදේශයේ අනතුරට පත්ව සිටි මෙම ධීවරයින් නාවික හමුදාව මඟින් සොයා ගැනීමට සමත් වූ අතර, එම ධීවරයින් නිරුපද්‍රිතව හම්බන්තොට වරාය වෙත රැගෙන ඒමට කටයුතු කරන ලදි. තවද, නාවික හමුදාව විසින් මෙලෙස ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ ආපදාවට පත්වන ධීවර හා නාවික ප්‍රජාව වෙත අවශ්‍ය සහන සැලසීමට නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි.