නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලීමේ නිරතවූ පුද්ගලයින් පිරිසක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජනවාරි 13 සහ 14 යන දිනයන්හිදී පලෙයිතිව් වලට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුර නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලීමේ නිරතවූ පුද්ගලයින් පිරිසක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත.

නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව දැඩි අවධානයෙන් කටයුතු කරනු ලබයි. ඒ අනුව පලෙයිතිව් වලට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුරදී බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් දහඅට දෙනෙකු (18) නාවික හමුදා භාරයට ගෙන ඇත. එහිදි ඩිංගි යාත්‍රා 04 ක්, පිටත දහන යන්ත්‍ර 04 ක්, සංඥා යන්ත්‍ර 03 ක් සහ ධීවරයින් විසින් අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 195 ක් (කිලෝග්‍රෑම් 45 ක් පමණ) සමග කිමිදුම් උපකරණ කිහිපයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇති අතර, එම පුද්ගලයින් අවුරුදු 22 ත් 54 ත් අතර වයස් වල පසුවන මන්නාරම සහ ඉරුක්කුලම්පිඩ්ඩි යන ප්‍රදේශ වල පදිංචිකරුවන් බවට තහවුරු කරගෙන ඇත.

අදාල පුද්ගලයන්, ඩිංගි යාත්‍රා, අල්ලාගන්නා ලද මුහුදු කූඩැල්ලන් සහ අනෙකුත් උපකරණ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය, වෙලනි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.