කේරල ගංජා සමග යතුරුපැදියක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජනවාරි 13 වන දින චාවකච්චේරිය, පලෙයි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 8 ග්‍රෑම් 475 ක් පමණ සොයා ගැනීමට සමත්ව ඇත.

මත්ද්‍රව්‍ය ව්‍යසනය මෙරටින් තුරන් කිරීම වෙනුවෙන් ශ්‍රීලංකා නාවික හමුදාව සිය නිරන්තර දායක්තවය ලබා දෙන අතර, මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් හා ජාවාරම්කරුවන් රාශියක් නීතියේ රැහැනට හසු කර දීමටද සමත් වී ඇත. එහි තවත් දිගුවක් වශයෙන්, යාපනය මත්ද්‍රව්‍ය නාශක කාර්යාලය සමග එක්ව චාවකච්චේරිය, පලෙයි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී මාර්ගයේ නවතා තිබූ සැක කටයුතු යතුරු පැදියක් නිරීක්‍ෂණය කර ඇති අතර, එම යතුරු පැදිය පරීක්‍ෂා කිරීමේදී එහි සඟවා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 8 ග්‍රෑම් 475 ක් පමණ සොයා ගැනීමට හැකි වී ඇත. තවද මෙම කේරළ ගංජා තොගය අලෙවි කිරීම සඳහා ප්‍රවාහනය කර ඇති බවත්, නාවික හමුදා පොලිස් ඒකාබද්ධ මෙහෙයුම හේතුවෙන් සැකකරුවන් පලා ගොස් ඇති බවත්‍ සැක පල කෙරේ.

එමෙන්ම, යතුරු පැදියේ තිබී ජංගම දුරකථනයක් ද සොයා ගැනීමට සමත්ව ඇති අතර, සැකකරුවන් සොයා නාවික හමුදාව සහ පොලිසිය එක්ව මෙහෙයුමක් දියත් කර ඇත. යතුරු පැදිය, කේරළ ගංජා ප්‍රමාණය සමග ජංගම දුරකථනය ඉදිරි විමර්ශන කටයුතු සඳහා පලෙයි, පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.