මුහුදේදී රෝගී වූ ධීවරයෙකු ගොඩබිම වෙත රැගෙන ඒම සඳහා නාවික හමුදා දායකත්වය

මුහුදේදී රෝගී වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට 2020 ජනවාරි 14 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරන ලදී.

ශ්‍රී ලංකාව වටා ඇති සාගරය ප්‍රයෝජනයට ගනු ලබන නාවික හා ධීවර ප්‍රජාවට සිදුවන ඕනෑම ආපදාවකදී සෙවීමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුම් සිදු කරනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාව තවත් එවැනි මුදවා ගැනීමේ මෙහෙයුමක් දකුණු මුහුදු තීරයේදී සිදු කරන ලදී. ඒ අනුව හම්බන්තොට, ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ‘සිතුම් පුතා 01’ නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු හෘදයාබාධයක් හේතුවෙන් රෝගී වී සිටින බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් සිදු කළ දැනුම් දීමකට අනුව වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදාව, රෝගියා රැගෙන ඒම සඳහා දකුණු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් පිටත් කර යැවීමට කටයුතු කරන ලදී.

ඒ අනුව, අම්බලන්තොටට ඔබ්බේන් වූ මුහුදු ප්‍රදේශයේදී රෝගියා වේග ප්‍රහාරක මුර යාත්‍රාව වෙත ලබා ගැනීමෙන් අනතුරුව එම රෝගියා හට මුලික ප්‍රථමාධාර ලබා දෙමින් නිරුපද්‍රිතව ගොඩබිම වෙත රැගෙන ඒමට කටයුතු කෙරිණි. මෙසේ ප්‍රතිකාර සඳහා ගොඩබිම වෙත රැගෙන එනු ලැබූයේ වයස අවුරුදු 36 ක් වන කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, හම්බන්තොට වරාය වෙත රැගෙන එනු ලැබූ රෝගියා නාවික හමුදා ගිලන් රථයක් මගින් වෛද්‍ය ප්‍රථිකාර සඳහා හම්බන්තොට, මහ රෝහල වෙත යොමු කරන ලදී.

තවද, අන්තර්ජාතික සම්මුතීන් අනුව මුහුදේ ජීවිත ආරක්ෂාව සඳහා ප්‍රතිචාර දැක්වීමේ වගකීම ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අවබෝධ කරගෙන ඇති අතර, ශ්‍රී ලාංකිකයින් හට බොහෝ විට මුහුදේදී ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් වලදි ඒ සඳහා ප්‍රතිචාර දැක්වීමට නාවික හමුදාව නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි.