මුහුදේ අනතුරට පත් ධීවරයෙකු (01) ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහාය

උතුරු නාවික විධානය විසින් 2020 ජනවාරි 16 වන දින බහුදින ධීවර යාත්‍රාවක අනතුරකට පත්ව සිටි ධීවරයෙකු (01) නිරුපද්‍රිතව ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කර ඇත.

2019 දෙසැම්බර් 28 වන දින මාතර, සුදුවැල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ අමීන්ද්‍රා 4 නමැති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු පේදුරුතුඩුවට නාවික සැතපුම් 138 ඊසාන දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී යාත්‍රාව තුළ අනතුරට පත්වී ඇති අතර, මෙම අනතුර සම්බන්ධයෙන් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවෙන් ලද තොරතුරකට අනුව නාවික හමුදා මුලස්ථානයේ උපදෙස් මත උතුරු නාවික විධානයට අයත් යාත්‍රාවක් එම ධීවරයා මුදවා ගැනීමේ මෙහෙයුම සඳහා යෙදවීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, අනතුරට පත්ව සිටි මෙම ධීවරයා ‍සිටි යාත්‍රාව සොයා ගැනීමට හැකි වී ඇති අතර, මූලික ප්‍රථිකාර කිරීමෙන් පසු නිරුපද්‍රිතව ගොඩබිම වෙත ගෙනවිත් නාවික හමුදා ගිලන් රථයක් මගින් යාපනය ශීක්‍ෂන රෝහල වෙත රැගෙන යාමට කටයුතු කරන ලදි. තවද නාවික හමුදාව විසින් මෙලෙස ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ ආපදාවට පත්වන ධීවර හා නාවික ප්‍රජාව වෙත අවශ්‍ය සහන සැලසීමට නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි.