නීති විරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජනවාරි 16 වන දින මන්නාරම, එරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගෙන ඇත.

ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපයේ සාගර සහ මත්ස්‍ය සම්පත සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තරයෙන් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. එහි එක් මෙහෙයුමක් මන්නාරම මුහුදු ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලදී. ඒ අනුව, නාවික හමුදාව විසින් සිදු කල මුර සංචාරයක් අතරතුරදී මන්නාරම, එරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී සැක කටයුතු ට්‍රෝලර් යාත්‍රාවක් පරික්‍ෂාවට ලක් කර ඇත. අදාල යාත්‍රාව වැඩිදුර පරීක්‍ෂා කිරීමේදී ඔවුන් විසින් නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 24 ක්, සොයා ගෙන ඇති අතර, එහිදී මෙම පුද්ගලයින් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 22, 33 සහ 47 වන වියෙහි පසුවන මන්නාරම ප්‍රදේශයේම පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, එම පුද්ගලයින්, නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන්, මසුන්, ට්‍රෝලර් යාත්‍රාව, සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා කිලිනොච්චිය, ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.