මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජනවාරි මස 17 වන දින තෝපූර් ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හෙරෝයින් ග්‍රෑම් 36 ක ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

මත්ද්‍රව්‍ය ව්‍යසනය මෙරටින් තුරන් කිරීමේ අරමුණින් යුතුව කටයුතු කරනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාව, නීති විරෝධී මත්‍ද්‍රව්‍ය වැටලීම් සිදු කරමින් ජාවාරම්කරුවන් විශාල පිරිසක් නීතියේ රැහැනට හසුකර දීමට ක්‍රියා කර ඇත. ඒ අනුව නාවික හමුදාව මූතූර් පොලිසිය සමග එක්ව තෝපූර් ප්‍රදේශය තුළ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මාර්ගයේ ගමන්ගත් සැක කටයුතු ත්‍රීරෝද රථයක් නිරීක්‍ෂණය කර ඇත. එහිදී එම සැක කටයුතු ත්‍රීරෝද රථය නවතා වැඩිදුර පරීක්‍ෂාවට ලක් කිරීමේදී එහි සූක්‍ෂම ලෙස සගවා තිබූ හෙරෝයින් ග්‍රෑම් 36 ක පමණ ප්‍රමාණයක් සොයාගැනීමට හැකි වී ඇති අතර, ත්‍රීරෝද රථයේ ගමන් ගත් සැකකරු සමග එම හෙරෝයින් ග්‍රෑම් 36 ක ප්‍රමාණය අත් අඩංගුවට ගෙන ඇත.

එම සැකකරු වයස අවුරුදු 39 ක් වන තෝපූර් ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බව වැඩිදුරටත් අනාවරණය කර ගෙන ඇති අතර, අත් අඩංගුවට ගත් ත්‍රීරෝද රථය, සැකකරු සහ හෙරෝයින් ග්‍රෑම් 36 ක ප්‍රමාණය පිළිබඳ ඉදිරි විමර්ෂණ කටයුතු මූතූර් පොලිසිය විසින් සිදු කරනු ලබයි.