නාවික හමුදාව මගින් සිදු කරනු ලබන වෙරළ සංරක්‍ෂණ කටයුතු සඳහා ස්වභාදහමේ ආශිර්වාදය

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිරන්තරයෙන් සිදු කරනු ලබන වෙරළ සංරක්‍ෂන කටයුතු සහ සාගර පරිසරය සුරක්‍ෂිත කිරීමේ ක්‍රියාකාරකම් වල සාර්ථක ප්‍රගතියක් මේ වන විට නිරීක්‍ෂණය වේ.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් අද (2020 ජනවාරි 18) දින ගාලු මුවදොර අවට වෙරළතීරය පිරිසිදු කිරීම සම්බන්ධයෙන් නිරීක්‍ෂණ චාරිකාවාරයක නිරතවූ අතර, එහිදී නාවික හමුදාව විසින් සිදු කරනු ලබන මෙම කටයුතු සඳහා ස්වභාදහමේ ආශීර්වාදය හිමි වී ඇති බවට පෙන්නුම් කරමින් ගාලු මුවදොර වෙරළ තීරයේදී දක්නට නොතීබූ දුර්ලභ දසුනක් වන කැස්බෑ බිත්තර හමුවී ඇත. එහිදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත නාවික හමුදා සමාජිකයින් විසින් කැස්බෑ බිත්තර එම ස්ථානයේම ආරක්‍ෂිතව සංරක්‍ෂණය කර තැබීමට කටයුතු සිදු කර ඇත

නාවික හමුදාව වර්ථමානය වන විට තම වෘත්තීය රාජකාරීන්ගෙන් ඔබ්බට යමින් රටේ සංවර්ධනය ඇතුළු විවිධ කටයුතු සඳහා තම දායකත්වය නිරන්තරයෙන් ලබා දෙමින් සිටී. එහි එක් ප්‍රයත්නයක් වශයෙන් දිවයින වටා ඇති මුහුදු තීරයන් අපද්‍රව්‍ය වලින් තොර කළාපයන් බවට පත් කිරීමේ ජාතික කර්තව්‍ය සඳහා දායක ‍වන අතර, සියළුම නාවික විධානයන් ආවරණය වන පරිදි වෙරළ පිරිසිඳු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.

තවද, සාගරික සම්පත් සුරැකීම ඉතාමත් වැදගත් කාර්යභාර්යක් ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව හදුනාගෙන ඇති අතර, ඉතා කාර්යක්‍ෂම ශ්‍රම බලකායකින් යුතු නාවික හමුදාව දිවයින වටා සමස්ථ වෙරළ තීරය ආවරණය වන පරිදි වෙරළ තී‍රය අපද්‍රව්‍ය වලින් තොර පිරිසිදු වෙරළ තීරයක් බවට පත් කිරීමත් සාගරික සම්පත් සුරැකීමත් වෙනුවෙන් මහත් කාර්යභාර්යක් ඉටු කරමින් සිටි.