කේරළ ගංජා සමඟ යතුරු පැදියක් අත් අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය

නාවික හමුදාව සහ සුරාබදු ඒකකය එක්ව 2020 ජනවාරි 18 වන දින යාපනය, චාවකච්චේරිය ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 18 ග්‍රෑම් 300 කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

මතින් තොර රටක් ගොඩනැගීමේ ජාතික මෙහෙවර සඳහා නාවික හමුදා සක්‍රීය දායකත්වයේ තවත් අදියරක් වශයෙන් උතුරු නාවික විධානයේ භට පිරිස් චාවකච්චේරි සුරාබදු ඒකකය සමඟ එක්ව යාපනය, චාවකච්චේරි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමක් අතරතුරදී නවතා තිබූ යතුරුපැදියක් නිරීක්‍ෂණය කර ඇත. ඒ අනුව, එම යතුරු පැදිය වැඩිදුරටත් පරීක්‍ෂා කිරීමේදී එහි තිබී කේරළ ගංජා කිලෝ 18 ග්‍රෑම් 300 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමට සමත්ව ඇති අතර, එහිදී යතුරු පැදිය සහ කේරළ ගංජා තොගය අත්අඩංගුවට‍ ගැනීමට කටයුතු කර ඇත.

නාවික හමුදාව විසින් නිරන්තරයෙන් සිදු කරනු ලබන සෝදිසි මෙහෙයුම් හේතුවෙන් සැක කරුවන් විසින් මෙම කේරළ ගංජා තොගය සමග යතුරු පැදිය අතහැර ගොස් ඇති බවට සැක පල කරන අතර, අත්අඩංගුවට ගන්නා ලද කේරළ ගංජා කිලෝ 18 ග්‍රෑම් 300 කට ආසන්න ප්‍රමාණය සහ යතුරු පැදිය පිළිබද වැඩිදුර විමර්ෂණ චාවකච්චේරිය සුරාබදු ඒකකය මගින් සිදු කරනු ලබයි.