ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව උල්ලංගණය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් හතරදෙනෙකු (04) නාවික හමුදා භාරයට

නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් හතරදෙනෙකු (04) සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් (01) 2020 ජනවාරි 18 වන දින නාවික හමුදා භාරයට ගෙන ඇත.

මෙරට මුහුදු සීමාව උල්ලංගණය කරමින් ධීවර කටයුතුවල නිරත වන ධීවරයින් සහ සාගරය භාවිතා කරමින් සිදු කරනු ලබන විවිධ ජාවාරම් කටයුතු මැඩපැවැත්වීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව සිදු කරනු ලබන අඛණ්ඩ මුර සංචාරයක් අතරතුරදී ඩෙල්‍ෆ් දූපතට වයඹ දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී නීති වි‍රෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන ඇත. එම යාත්‍රාව ‘කන්කසන්තුරය’ ධීවර වරාය වෙත රැගෙන ඒමේදී යාත්‍රාව තුලට ජලය කාන්දු වීම හේතුවෙන් ධීවර යාත්‍රාව මුහුදු බත්වී ඇති අතර, යාත්‍රාවේ බඳ දුර්වල වී තිබීමත්, එම අවස්ථාවේ පැවතුණු රළු මුහුදු ස්වාභාවයක් හේතුවෙන් මෙලෙස ජලය කාන්දු වී මුහුදු බත්වී ඇති බවට සැක පල කරයි. මේ ආකාරයට ධීවර කටයුතු සදහා භාවිතා කල නොහැකි මට්ටමේ අබලන් ධීවර යාත්‍රා මගින් ධීවර කටයුතු වල නියැලීම හේතුවෙන් ශ්‍රීලංකා මුහුදු සීමාව තුල මීට පෙරද ඉන්දියානු ධීවර යාත්‍රා කිහිපයක් මුහුදු බත්වී ඇත. මෙලෙස මුහුදු බත්වූ යාත්‍රාව පිළිබදව වැඩිදුර විමර්ෂණ නාවික හමුදාව විසින් සිදු කරගෙන යනු ලබයි. කෙසේ නමුත් යාත්‍රාවේ සිටි ධීවරයින් සියළු දෙනාම (04) නිරුපද්‍රිතව ගොඩබිම වෙත රැගෙන ඒමට කටයුතු කර ඇති අතර, මෙම ධීවරයින් වයස අවුරුදු 29,33,34 සහ 50 වන වියෙහි පසුවන්නන් බවට වැඩිදුර කරුණු අනාවරණය කරගෙන ඇත.

ඒ අනුව ‘කන්කසන්තුරය’ වරාය වෙත රැගෙන ආ මෙම ධීවරයින් පිරිස වෛද්‍ය පරීක්‍ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කර ඇත.

තවද, ශ්‍රී ලංකා නාවික හමුදාව සාගර කලාපයේ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා සිදු කරනු ලබන මුර සංචාර හේතුවෙන් මේවන විට ඉන්දියානු ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව උල්ලංගණය කරමින් ධීවර කටයුතුවල නියැලීම සාපේක්‍ෂව අඩුවී ඇති අතර, මෙරට මත්ස්‍ය සම්පත රැක ගැනීම උදෙසා මෙන්ම මෙරට ධීවරයින්ගේ ආරක්‍ෂාව සඳහා නාවික හමුදාව සතු සම්පත් කාර්යක්‍ෂමව හා ඵලදායි ලෙස යෙදවීමට නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි.