දේශීය ගංජා තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

නාවික හමුදාව සහ හම්බන්තොට සුරාබදු ඒකකය එක්ව අද (2020 ජනවාරි 19) සූරියවැව, කිරිඉබ්බන්ආර ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදි දේශීය ගංජා කිලෝග්‍රෑම් 10 කට ආසන්න ප්‍රමාණයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත් අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකාව මතින් තොර රටක් බවට පත් කිරීම සඳහා උර දෙමින් සිටින ශ්‍රී ලංකා නාවික හමුදාව හම්බන්තොට සුරාබදු ඒකකය හා එක්ව සිදු කරන ලද තවත් මෙහෙයුමක් සූරියවැව, කිරිඉබ්බන්ආර ප්‍රදේශය කෙන්ද්‍ර කරගනිමින් සිදු කරන ලදී. එහිදී යතුරු පැදියක ගමන් ගත් සැක කටයුතු පුද්ගලයින් දෙදෙනෙක් (02) නිරීක්‍ෂණය කර ‍එම සැකකරුවන් පරික්‍ෂාවට ලක් කර ඇත. එහිදී ඔවුන් සතුව තිබී දේශීය ගංජා කිලෝග්‍රෑම් 10 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමට සමත්ව ඇති අතර, මෙහිදී යතුරු පැදිය, දේශීය ගංජා තොගය සමග සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

මෙලෙස අත් අඩංගුවට ගත් පුද්ගලයින් වයස අවුරුදු 21 සහ 33 වන වියෙහි පසුවන සෙවණගල ප්‍රදේශයෙහි පදිංචිකරුවන් බව වැඩිදුරටත් තහවුරු කරගෙන ඇත. මෙම සැකකරුවන්, දේශීය ගංජා තොගය සහ යතුරු පැදිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු හම්බන්තොට සුරාබදු ඒකකය මගින් සිදු කරනු ලබයි.