කේරළ ගංජා සමඟ පුද්ගලයින් සිව් දෙනෙකු (04) අත් අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජනවාරි 19 සහ 20 යන දෙදින තුල කින්නියා ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුම් දෙකක් අතරතුර කේරළ ගංජා කිලෝ 1 ග්‍රෑම් 516 කට ආසන්න ප්‍රමාණක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

මතින් තොර රටක් ගොඩනැගීමේ ජාතික මෙහෙවර සඳහා සක්‍රීය දායකත්වය සපයමින් සිටින ශ්‍රී ලංකා නාවික හමුදාව කින්නියා පොලිසිය සමඟ එක්ව 2020 ජනවාරි මස 19 සහ 20 යන දෙදින තුළ කින්නියා ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව 2020 ජනවාරි 19 වන දින සිදුකරන ලද මෙහෙයුමේදී සැක කටයුතු යතුරු පැදි දෙකක් (02) නිරීක්‍ෂණය කර සිදු කළ වැඩිදුර සෝදිසි කිරීමේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් එකකට (01) ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමට සමත් වී ඇති අතර, එහිදී පුද්ගලයින් තිදෙනෙක් (03) සමග යතුරු පැදි දෙක සහ කේරළ ගංජා ප්‍රමාණය අත් අඩංගුවට ගෙන ඇත. එසේම 2020 ජනවාරි 20 වන දින සිදු කළ මෙහෙයුමේදීද සැක කටයුතු යතුරු පැදියක් නිරීක්‍ෂණය කොට එය වැඩිදුර පරීක්‍ෂා කිරීමේදී සූක්‍ෂම ලෙස සගවා තිබූ කේරළ ගංජා ග්‍රෑම් 516 ක පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වී ඇත. ඒ අනුව එම යතුරු පැදිය සමග එහි ගමන් ගත් පුද්ගලයා සහ ග්‍රෑම් 516 කට ආසන්න කේරළ ගංජා ප්‍රමාණයද අත් අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින් සිව් දෙනා (04) වයස අවුරුදු 19, 26, 30 සහ 35 වන වියෙහි පසුවන්නන් බවට තහවුරු කරගෙන ඇති අතර, ඔවුන් එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බවට වැඩිදුරටත් කරුණු අනාවරණය කරගෙන ඇත. අත් අඩංගුවට ගන්නා ලද සැක කරුවන් සිව්දෙනා (04), යතුරු පැදි තුන (03) සහ කේරළ ගංජා කිලෝ 1 ග්‍රෑම් 516 කට ආසන්න ප්‍රමාණය පිළිබද වැඩිදුර විමර්ෂණ කින්නියා පොලිසිය මගින් සිදු කරනු ලබයි.