කේරල ගංජා සමග ජාවාරම් කරුවන් තිදෙනෙක් (03) නාවික හමුදා සහයෙන් අත් අඩංගුවට.

නාවික හමුදාව සහ නැගෙනහිර පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය එක්ව 2020 ජනවාරි 22 වන දින කින්නියා, මුනච්චනායි ප්‍රදේශයේදී සිදු කල ඒකාබද්ධ මෙහෙයුමකින් කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) සහ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු අත් අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකාව තුළ නීති විරෝධී ලෙස මත් ද්‍රව්‍ය මැඩලීම සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් මෙහෙයුම් දියත් කරනු ලබන අතර, එහි තවත් එක් මෙහෙයුමක් නාවික හමුදාව හා නැගෙනහිර පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය එක්ව කින්නියා, මුනච්චනායි ප්‍රදේශය ආශ්‍රිතව සිදු කරන ලදී. එහිදී මාර්ගයේ යතුරු පැදියකින් ගමන්ගත් සැක කටයුතු පුද්ගලයින් දෙදෙනෙක් (02) නිරීක්‍ෂණය කර පරික්‍ෂාවට ලක් කර ඇති අතර, ඔවුන් සතුව තිබී කේරළ ගංජා කිලෝ දෙකක (02) පමණ ප්‍රමාණයක් සොයාගෙන ඇත. එහිදී එම සැකකරුවන් දෙදෙනා (02), අදාල යතුරු පැදිය සහ කේරළ ගංජා කිලෝ දෙකක (02) පමණ ප්‍රමාණය අත් අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති අතර, සැකකරුවන්ගෙන් ලද තොරතුරකට අනුව ප්‍රදේශයේ කේරළ ගංජා අලෙවි කරනු ලබන ජාවාරම් කරුවකුද නීතියේ රැහැනට කොටු කර ගැනීමට හැකියාව ලැබී ඇත.

අත් අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 22, 32 සහ 36 වන වයස්වල පසුවන තඹලගමුව සහ කින්නියා යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, සැකකරුවන් තිදෙනා (03), යතුරු පැදිය සහ කේරළ ගංජා ප්‍රමාණය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සඳහා කින්නියා පොලීසිය වෙත භාරදීමට කටයුතු කර ඇත.