කැස්බෑවෙකු බේරා ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව විසින් 2020 ජනවාරි 23 උදැසන කන්කසන්තුරේ වරාය ආසන්නයේ වෙරළ තීරයේ තුවාල ලබා සිටි කැස්බෑවෙකු බේරා ගෙන ඇත.

මුහුදේ දී තුවාල ලබා සැඩ රළ පහර‍ට හසුව කන්කසන්තුරය වෙරළ තීරයට පැමිණ සිටි හොඳින් වැඩුනු කැස්බෑවෙකු 2020 ජනවාරි 23 දින උතුරු නාවික විධානයේ නාවිකයින් විසින් බේරා ගැනීමට කටයුතු කර ඇත. එම කැස්බෑවාගේ වරල් තුනක් (03) ශරීරයෙන් වෙන්ව යන ලෙසට තියුණු ආයධයකින් කැපී ඇති බවට නිරීක්‍ෂණය විය. ඒ අනුව, කැස්බෑවා ගොඩබිමට රැගෙනවිත් කඩිනම් ප්‍රතිකාර සඳහා යාපනය, වනජීවි දෙපාර්තමේන්තුව වෙත භාරදීමට කටයුතු කරන ලදි.

තවද, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ සංකල්පයක් මත ක්‍රියාත්මක ‘නීල හරිත සංග්‍රාමය’ යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව කැස්බෑ සංරක්‍ෂණය සඳහා ද විශාල දායකත්වයක් දක්වනු ලබන අතර, වඳ වී යන සතුන් කොට්ඨාශයක් වශයෙන් හඳුනාගෙන ඇති මෙම කැස්බෑවන් ආරක්‍ෂා කිරීම සදහා නිරන්තරයෙන් කටයුතු කරමින් සිටී.