තහනම් ධීවර දැල් 89 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට

නාවික හමුදාව සහ පදවිය, පොලිස් දූෂණ මර්ධන ඒකකය එක්ව 2020 ජනවාරි 23 වන දින පදවිය ප්‍රදේශයේදී තහනම් දැල් 89 ක් සමඟ පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන ඇත.

නීති විරෝධී ධීවර කටයුතු වල යෙදීමෙන් වන සාගරික පරිසර හානිය වැලැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තර‍ව මෙහෙයුම් ක්‍රියාත්මක කරනුලබයි. ඒ අනුව පදවිය, පොලිස් දූෂණ මර්ධන ඒකකය හා එක්ව පදවිය ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී සැක කටයුතු නිවසක් පරීක්‍ෂා කර ඇති අතර, එහි තිබී තහනම් දැල් 89 ක පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වී ඇත. එහිදී නිවසේ සිටි සැකකරුවෙකුද අත් අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති අතර, ඔහු වයස අවුරුදු 49 ක් වන එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවට තහවුරු කරගෙන ඇත.

සැකකරු සමග අත් අඩංගුවට ගත් තහනම් දැල් තොගය පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු පදවිය පොලිසිය විසින් සිදු කරනු ලබයි. තවද, ඉදිරියේදී ද මෙවැනි තහනම් දැල් භාවිතා කරන පුද්ගලයින් වැටලීම සම්බන්ධයෙන් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට නාවික හමුදාව නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි.