නීති විරෝධී ධීවර උපකරණ භාවිතා කරමින් මසුන් මැරූ විදේශිකයින් යුවලක් නාවික හමුදා භාරයට

ස්පියර් ගන් (Spear Gun) භාවිතා කරමින් නීති විරෝධී ලෙස මසුන් මරමින් සිටි විදේශීය යුවලක් 2020 ජනවාරි මස 24 වන දින රූමස්සල ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගෙන ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදා දකුණු නාවික විධාන මූලස්ථානයට ලද තොරතුරකට අනුව රූමස්සල අවට මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ස්පියර් ගන් (Spear Gun) භාවිතා කරමින් මසුන් මරමින් සිටි විදේශීය යුවලක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇති අතර, මෙම විදේශීය යුවල සතුව තිබූ ස්පියර් ගන් (Spear Gun) එකක් (01) , පා වරල් (fins) ජෝඩු එකක් (01) නාවික හමුදාව විසින් තම භාරයට ගෙන ඇත. ඒ අනුව මෙම විදේශීය යුවල පිළිබඳ සිදු කළ වැඩිදුර විමර්ශනයේදී ඔවුන් යුක්රේන ජාතිකයින් බව තහවුරු කරගෙන ඇති අතර, නාවික හමුදා භාරයට ගත් මෙම විදේශිය යුවල, ස්පියර් ගන් (Spear Gun) එක (01) සහ පා වරල් (fins) ජෝඩුව (01) ඉදිරි විමර්ශණ කටයුතු සඳහා හබරාදූව පොලීසිය වෙත භාර දිමට කටයුතු කරන ලදි.

තවද, ශ්‍රී ලංකාවේ සංචාරයේ නිරතවන සංචාරකයන් අතරින් ඉතා සීමිත පුද්ගලයින් පිරිසක් විසින් සිදු කරගෙන යනු ලබන මෙවැනි නිතී විරෝධි ක්‍රියාකරකම් හේතුවෙන් අප රට වටා ඇති සාගර කලාපයේ සාගර සම්පත විනාශයට ලක්වන අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සාගර සම්පත රැක ගැනීම වෙනුවෙන් නිරන්තර අවධානයෙන් කටයුතු කරමින් සිටියි.