ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංචිතය මගින් පවත්වනු ලැබූ මුහුදු පිහිනුම් තරගාවලියේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකා නාවික හමුදාවට

2020 ජනවාරි 26 වන දින ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංචිතය මගින් තුන්වන වරට (03) පවත්වනු ලැබූ විවෘත මුහුදු පිහිනුම් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් එකොලොස් දෙනෙකු (11) සහභාගී විය.

ගාලු මුවදොර මුහුදු තීරයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 71 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවති පිහිණුම් තරගාවලිය සඳහා පාසල් මට්ටමින්ද ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වී සිටි අතර, ත්‍රිවිධ හමුදාව සහ ක්‍රීඩා සමාජ නියෝජනය කරමින්ද විශාල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාවක් සහභාගී වී සිටියේය. එසේම මෙම තරගය සඳහා නාවික හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් එකොලොස් දෙනෙකු (11) සහභාගී වූ අතර, තරගයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට නාවික හමුදාවේ ජීඑස්එන් පෙරේරා ක්‍රීඩකයා සමත් විය. එසේම හයවන, එකොලොස්වන සහ දා හත්වන යන ස්ථානද නාවික හමුදා ක්‍රීඩකයින් විසින් හිමි කර ගන්නා ලදි. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා වශයෙන් ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංචිතයේ හිටපු සභාපති මහින්ද ලියනගේ සහභාගී වූ අතර, තරගාවලියේ ජයග්‍රාහකයින් හට ත්‍යාග සහ සහතිකපත් ප්‍රධානය ඔහු විසින් සිදු කරන ලදි.

තවද, සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ආරක්ෂාව සඳහා නාවික හමුදා ජීවිත ආරක්ෂක කණ්ඩායමක් (4RU) නාවික හමුදාධිපති පියල් ද සිල්වා ගේ උපදෙස් මත සහභාගි කරවීමට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කටයුතු කරන ලදි. එසේම මෙවැනි සමාජ සත්කාරයන් සහ ඕනෑම හදිසි අවස්ථාවන්හිදී සිවිල් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් නාවික හමුදාව නිරන්තරයෙන් සහයෝගය ලබා දෙමින් කටයුතු කරනු ලබයි.