ග්‍රෙගරි වැවේ ‘Jet Ski’ යාත්‍රාවක් පෙරලීමෙන් අනතුරට පත් පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදාව විසින් බේරා ගැනේ

නුවරඑළිය ග්‍රෙගරි වැවේ විනෝදය පිණිස ‘Jet Ski’ ජල ක්‍රීඩාවේ නිරතව සිටියදී අනතුරට පත් පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදාව විසින් 2020 ජනවාරි 26 වන දින බේරා ගැනීමට සමත් විය.

නුවරඑළිය, ග්‍රෙගරි වැව් පරිශ්‍රයේ විනෝදය පිණිස ‘Jet Ski’ ජල ක්‍රීඩාවේ යෙදෙමින් සිටියදී එම යාත්‍රාවේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව යාත්‍රාව පෙරලීමෙන් පුද්ගලයන් තිදෙනෙකු (03) අනතුරට පත්ව ඇත. එහිදී එම පුද්ගලයින් නිරීක්‍ෂණය කළ ග්‍රෙගරි වැව් පරිශ්‍රය අවට ජිවිතාරක්‍ෂක රාජකාරියෙහි නියුතු ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්ෂණික ප්‍රතිචාර දැක්විමේ, මුදවා ගැනීමේ සහ සහන සැලසීමේ ඒකකයට (4RU) අනුයුක්ත ජීවිතාරක්‍ෂක නාවිකයින් පිරිසක් විසින් එම පුද්ගලයින් තිදෙනා (03) නිරුපද්‍රිතව බේරා ගැනීමට සමත් විය.

මෙසේ ‍බේරා ගනු ලැබුවේ රත්නපුර සහ නුවරඑළිය යන ප්‍රදේශයන්හි පදිංචි වයස අවුරුදු 57, 24 සහ 21 යන වයස්වල පසුවන පුද්ගලයින් බව හඳුනාගෙන ඇත. තවද, නාවික හමුදාව විසින් දිවයින වටා වූ සාගර කලාපයේ මෙන්ම දිවයින තුල ගංඟා සහ වැව් ආශ්‍රිතව ද මුදවා ගැනීමේ සහන කණ්ඩායම් අනුයුක්ත කර ඇති අතර, එමඟින් අපදාවන්ට ලක්වන දේශීය මෙන්ම විදේශීය පුද්ගලයින් හටද කඩිනමින් සහන සැලසීමට නාවික හමුදාවට හැකිව ඇත.