කොළඹ නාවික අභ්‍යාසය - CONEX 2020 ප්‍රථම දිනය සාර්ථකව අවසන් කෙරේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙවන වරටත් සංවිධානය කරනු ලැබූ කොළඹ නාවික අභ්‍යාසයයේ (Colombo Naval Exercise –CONEX 20) පළමු දිනය 2020 ජනවාරි 28 වන දින සාර්ථකව නිමා කරන ලදි.

දෙවන වරටත් අති සාර්ථකව සංවිධානය කරනු ලබන මෙම කොළඹ නාවික අභ්‍යාසය - CONEX 2020 හි පළමු දිනයේදී ශ්‍රීලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුද නිරීක්‍ෂණ නෞකාවන්, නොගැඹුරු මුහුද නිරීක්‍ෂණ නෞකාවන් මෙන්ම වේග ප්‍රහාරක යාත්‍රාවන්ද නාවික අභ්‍යාසයන් සදහා සහභාගී වන ලද අතර, මෙම නාවික අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එම්අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක්ද එක් විය. පළමු දිනයේදී මුහුදු බෝම්බ සහිත සාගර කළාපයක නෞකා ගමන් කිරීම, නෞකාවක් ඇදගෙන යාම, නෞකා සංග්‍රාමික පෙල හැඩයන් ඔස්සේ ගමන් කිරීම සහ නෞකා අතර පණිවිඩ හුවමාරු කිරීමේ අභ්‍යාසයන් සිදු කරන ලදි.

තවද, නාවික හමුදා අභිමානය පිළිඹිබු කරන මෙම නාවික අභ්‍යාසයේ තවත් නාවික අභ්‍යාසයන් රැසක් 2020 ජනවාරි මස 31 වන දින දක්වා කොළඹට ආසන්න මුහුදේදී පැවැත්වීමට නියමිතව ඇත.