කොළඹ නාවික අභ්‍යාසය - CONEX 2020 සාර්ථකව නිමාවට පත්වේ

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙවන වරටත් සංවිධානය කරනු ලැබූ කොළඹ නාවික අභ්‍යාසය (Colombo Naval Exercise –CONEX 20) අද (2020 ජනවාරි 31) සාර්ථකව නිමාවට පත්විය.

දෙවන වරටත් අති සාර්ථකව සංවිධානය කරනු ලැබූ මෙම කොළඹ නාවික අභ්‍යාසය - CONEX 2020 අද (2020 ජනවාරි 31) සාර්ථකව නිමාවට පත් විය. දින තුනක් (03) කොළඹට ආසන්න මුහුදු ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් අධියර දෙකක් යටතේ පැවති මෙම නාවික අභ්‍යාසය සදහා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාවන්, වේග ප්‍රහාරක යාත්‍රාවන් මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එම්අයි 17 සහ බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානා දෙකක් ද (02) සහභාගී වන ලදි.

කොළඹ නාවික අභ්‍යාසය පිළිබඳ අදහස් දක්වමින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා අවධාරණය කළේ මෙහෙයුම් කාර්යක්‍ෂමතාවය කුළුණු තුනක් මත රදා පවතින බවයි. නායකත්වය, මෙහෙයුම් හා මෙහෙයුම්කරුවන්ගේ උපකරණ වල මෙහෙයුම් හැකියාව සහ කාර්ය මණ්ඩලයේ නිපුණතාවය යන කරුණු එම කුළුණු වේ.

ජාත්‍යන්තර නාවික අභ්‍යාසයකට නොදෙවෙනි අයුරින් පැවැත්වීමට හැකියාව ලැබූ මෙම නාවික අභ්‍යාසය තුලින් නාවිකයින්ගේ වෘත්තීය දැනුම වර්ධනය කර ගැනීමට හැකිවූ අතර, කළාපයේ සමුද්‍රීය ආරක්‍ෂාව තහවුරු කිරීම සදහා වන ඉදිරි නාවික මෙහෙයුම් කටයුතු දියත් කිරීම සදහාද එය මනා පිටුවහලක් විය.

දිවයින වටා ඇති මුහුදු ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව සිදු කරන ලද මෙම නාවික අභ්‍යසය තුලින් දෙපාර්ශවයටම මනා පුහුණුවක් ලබා ගැනීමට හැකියාව උදා විය.