නාවික හමුදාව විසින් කේරළ ගංජා කි‍ලෝග්‍රෑම් 97 ග්‍රෑම් 200 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනේ

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (2020 පෙබරවාරි 01) දින යාපනය, මයිලඩි ප්‍රදේශයට ආසන්න මුහුදේ සිදු කළ මුර සංචාරයකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 97 ග්‍රෑම් 200 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගෙන ඇත.

මත් ද්‍රව්‍ය උවදුර රටින් තුරන් කිරීම වෙනුවෙන් නාවික හමුදාව මේ වන විට දැවැන්ත කාර්යභාරයක් සිදු කරමින් සිටින අතර, ඒ අනුව දිවයින වටා ඇති සාගර කළාපයේ සිදු කරනු ලබන නිරත්නර සෝදිසිකිරීම් අතරතුර අද (2020 පෙබරවාරි 01) යාපනය, මයිලඩි ප්‍රදේශයට ආසන්න මුහුදේ සිදු කළ මුර සංචාරයකදී මුහුදේ පාවෙමින් තිබූ පාර්සල් කිහිපයක් නිරීක්‍ෂණය කර ඇත. අනතුරුව සිදු කල වැඩිදුර පරීක්‍ෂා කිරීම්වලදී එම පාර්සල් තුල තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 97 ග්‍රෑම් 200 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමට සමත් වී ඇත.

තවද, ජාවාරම්කරුවන් විසින් මුහුදු මාර්ගයෙන් මත්ද්‍රව්‍ය මෙරටට ගෙන ඒම සදහා සිදුකරන සැළසුම් ව්‍යාර්ථ කිරීම සඳහා නාවික හමුදාව අඛණ්ඩව මෙහෙයුම් සිදු කිරීම හේතුවෙන් මෙම කේරළ ගංජා තොගය අතහැර යන්නට ඇතැයි විශ්වාස කරනු ලබන අතර, නාවික හමුදා භාරයට ගන්නා ලද කේරළ ගංජා ප්‍රමාණය වැඩිදුර විමර්ෂණ කටයුතු සඳහා යාපනය පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත භාරදීමට නියමිතව ඇත.