2019 වසරේ හොඳම නෞකාව ලෙස ශ්‍රීලංකා නාවික නෞකා සිඳුරළ නෞකාව නම් කෙරේ

2019 වර්ෂයේ හොඳම ශ්‍රීලංකා නාවික හමුදා නෞකාව වශයෙන් ශ්‍රීලංනානෞ සිඳුරළ නෞකාවත් කුඩා නෞකාව වශයෙන් ඒ 521 නෞකාවත් හොඳම වේග ප්‍රහාරක යාත්‍රාව වශයෙන් පී 450 යාත්‍රාවත් 2020 ජනවාරි 31 දින නම් කරන ලද අතර, ඒ අනුව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ සුරතින් ජයග්‍රහණය ලද නෞකා සහ යාත්‍රාවන්ට හිමි තරු සලකුණ සහිත ඵලකයන් ලබා දීම සිදු කරන ලදි.

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු නෞකා අතරින් සෑම වසරකම හොඳම නෞකාව, හොඳම කුඩා නෞකාව සහ හොඳම වේග ප්‍රහාරක යාත්‍රාව තෝරා පත් කර ගැනීමට කටයුතු කරන අතර, එහිදී, කාණ්ඩ තුනක් යටතේ නෞකා‍වන් සහ යාත්‍රාවන් අතර පවත්වනු ලබන ක්‍රීඩා තරග, නාවික දැනුම, කඹ හැසිර වීම, නෞකා අතර පැවති යුධ අභ්‍යාසයන් සහ වැඩිම මුහුදු සංචාරයන් සිදු කල නෞකාව සහ වේග ප්‍රහාරක යාත්‍රාව යන කරුණු පදනම් කර ගනිමින් හොඳම නෞකාවන් සහ වේග ප්‍රහාරක යාත්‍රාව ‍නම් කිරීමට කටයුතු කරනු ලබයි.

ඒ අනුව, ධජ නිළධාරී නාවික දියත් විධානය විසින් 2019 වසරේ හොඳම නෞකාව ලෙස ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ නෞකාවත් හොඳම කුඩා නෞකාව ලෙස ඒ 521 නෞකාවත්, හොදම වේග ප්‍රහාරක යාත්‍රාව ලෙස පී 450 යාත්‍රාවත් තෝරා ගෙන ඇති අතර, ඒ අනුව එම ජයග්‍රහණයන්ට අදාල තරු සලකුනකින් යුතු ඵලකයන් 2020 ජනවාරි 31 වන දින කොළඹ වරායේ මගීපර්යන්ත ජැටියේදී නාවික හමුදාධිපති වයිස් අදිමිරාල් පියල් ද සිල්වාගේ සුරතින් අදාල නෞකාවන්ගේ සහ වේග ප්‍රහාරක යාත්‍රාවේ අණදෙන හා අණභාර නිලධාරීන් වෙත ලබා දෙන ලදි.

තවද මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, ආඥාපති බටහිර නාවික විධානය, අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම්, ධජ නිලධාරී නාවික දියත් විධානය නෞකාවන් සහ යාත්‍රාවන්ගේ අණදෙන අණභාර නිලධාරීන් සහ තවත් ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් මෙන්ම සියළුම නෞකා සහ යාත්‍රාවන්ගේ නාවිකයින් සහභාගී වී සිටින ලදි. මෙම අවස්ථාව සනිටු හන් කරමින් ජයග්‍රහණ ලබා ගන්නා ලද නෞකා සහ යාත්‍රාවන්ගේ නාවිකයින් නාවික හමුදාධිපති තුමන් සමග සමූහ ඡායා රූපයකටද පෙනී සිටින ලදි.