කේරළ ගංජා කි‍ලෝග්‍රෑම් 300 කට ආසන්න ප්‍රමාණයක් නාවික හමුදාව විසින් සොයා ගැනේ

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (2020 පෙබරවාරි 02) දින යාපනය, පුංගුඩුතිව් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 300 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගෙන ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දිවයින වටා ඇති සාගර කළාපයේ සිදු කරනු ලබන නිරත්නර සෝදිසිකිරීම් අතරතුර අද (2020 පෙබරවාරි 02) යාපනය, පුංගුඩුතිව් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයකදී සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර එය වැඩිදුර පරීක්‍ෂා කිරීමේදී එහි තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 300 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමට සමත් වී ඇත. එහිදී යාත්‍රාවේ සිටි සැකකරුවන් දෙදෙනෙක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, ඔවුන්ගෙන ලද තොරතුරකට අනුව තවත් ජාවාරම් කරුවන් දෙදෙනෙක් යාපනය, සංගුපිඩ්ඩි ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගන්නා ලදි.

තවද, ජාවාරම්කරුවන් විසින් මුහුදු මාර්ගයෙන් මත්ද්‍රව්‍ය මෙරටට ගෙන ඒම සදහා සිදුකරන සැළසුම් ව්‍යාර්ථ කිරීම සඳහා නාවික හමුදාව අඛණ්ඩව මෙහෙයුම් සිදු කිරීම හේතුවෙන් මෙම කේරළ ගංජා තොගය සොයා ගැනීමට හැකි වූ අතර, නාවික හමුදා භාරයට ගන්නා ලද කේරළ ගංජා ප්‍රමාණය වැඩිදුර විමර්ෂණ කටයුතු සඳහා යාපනය මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදීමට නියමිතව ඇත.