නීති විරෝධී ධීවර උපකරණ භාවිතා කරමින් මසුන් මැරූ පුද්ගලයින් තිදෙනෙක් නාවික හමුදා භාරයට

ස්පියර් ගන් (Spear Gun) භාවිතා කරමින් නීති විරෝධී ලෙස මසුන් මරමින් සිටි පුද්ගලයින් තිදෙනෙක් (03) අද ( 2020 පෙබරවාරි 02) නාවික හමුදා භාරයට ගන්නා ලදි.

නාවික හමුදාව වෙත ලද තොරතුරකට අනුව කොළඹ සිට මුහුදු සැතපුම් අටක් (08) දුරින් වූ රත්මලාන මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ස්පියර් ගන් (Spear Gun) භාවිතා කරමින් මසුන් මරමින් සිටි පුද්ගලයින් තිදෙනා (03) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇති අතර, ඔවුන් ‍ සතුව තිබූ ස්පියර් ගන් (Spear Gun) දෙකක් (02) , පා වරල් (fins) ජෝඩු දෙකක් (02), ඔක්සිජන් ටැංකි දහයක් (10), ජීපීඑස් යන්ත්‍රයක් (01), ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදාව විසින් තම භාරයට ගැනීමට කටයුතු කරන ලදි. ඒ අනුව, මෙම සැකකරුවන් පිළිබඳ සිදුකළ වැඩිදුර විමර්ශනයේදී මොවුන් දෙහිවල මුහුදු ප්‍රදේශයෙන් පිටත් වී ඇති බවට තහවුරු කරගෙන ඇති අතර, නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 57 සහ 61 වන වියෙහි පසුවන බෙල්ලන්විල, හේන්ගමුව සහ හෝමාගම යන ප්‍රදේශ වල පදිංචිකරුවන් බව වැඩිදුරටත් අනාවරණය කරගන්නා ලදි.

එසේම, නාවික හමුදා භාරයට ගන්නා ලද සැකකරුවන් තිදෙනා (03), ස්පියර් ගන් (Spear Gun) දෙක (02) , පා වරල් (fins) ජෝඩු දෙක (02), ඔක්සිජන් ටැංකි දහය (10), ජීපීඑස් යන්ත්‍රය (01), ඩිංගි යාත්‍රාව සහ අනෙකුත් උපකරණ ඉදිරි විමර්ෂන කටයුතු සඳහා දික්ඕවිට වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව වෙත භාර දීමට කටයුතු කරන ලදි.