ගාලු මුවදොර වෙරළ තීරයේ නාවික හමුදාව විසින් සංරක්‍ෂණය කරන ලද කැස්බෑ බිත්තර තුලින් පැටවුන් පිටතට පැමිණේ.

නාවික හමුදාව විසින් ගාලු මුවදොර පිටියේදී සොයා ගෙන සංරක්‍ෂණය කරන ලද කැස්බෑ බිත්තර තුලින් 2020 පෙබරවාරි 05 වන දින පැටවුන් පිටතට පැමිණීම සිදු විය.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ සංකල්පයක් මත ආරම්භ කරන ලද නීල හරිත ව්‍යාපෘතිය යටතේ ගාලු මුවදොර වෙරළ තීරය පිරිසිදු කිරීම ආරම්භ කරන ලද අතර, ඒ අනුව ඉතා දීර්ඝ කාලයක සිට එක්රැස්ව තිබූ ප්ලාස්ටික් හා පොලිතීන් වැනි අපද්‍රව්‍ය ඉවත් කර මේ වන විට ඉතා පිරිසිදු දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ගේද ආකර්ශණය දිනා ගැනීමට හැකි වෙරළ තීරයක් බවට පත් කර ගැනීමට හැකියාව ලැබී ඇත.

නීල හරිත ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කරනු ලැබූ මෙම වෙරළ පිරිසිඳු කිරීමේ වැඩසටහනේ ප්‍රථිපල මල්ඵල දරමින් පසුගිය දිනක ගාලු මුවදොර වෙරළ තීරයෙන් නාවික හමුදාව විසින් කැස්බෑ බිත්තර සොයා ගන්නා ලදි. මෙය මීට පෙර මෙම ප්‍රදේශය තුළ කිසි දිනෙක සිදු නොවූ ඉතා විරළ අත්දැකීමක් වන අතර, නාවික හමුදාධිපතිගේ සෘජු අධීක්‍ෂණය යටතේ එම බිත්තර අදාල ස්ථානයේම සංරක්‍ෂණය කිරීමට පියවර ගන්නා ලදි. ඒ අනුව එහි සාර්ථක ප්‍රථිඵල ගෙන දෙමින් අද එම බිත්තර තුලින් කැස්බෑ පැටවුන් පිටතට පැමිණීම සිදු විය. මෙලෙස පිටතට පැමිණි කැස්බෑ පැටවුන් අසු තුන්දෙනෙකු (83) නාවික හමුදාධිපති විසින් 2020 පෙබරවාරි 05 වන දින සවස් කාලයේ ගාලු මුවදොර මුහුදු තීරයේදී සාගරයට මුදාහැරීමට කටයුතු කරන ලද අතර මීට අමතරව තවත් කැස්බෑ බිත්තර 300කට අධික ප්‍රමාණයක් මෙම වෙරළ තීරයේ සංරක්‍ෂණය කර කැස්බෑ පැටවුන් සාගරයට මුදා හැරීමටනියමිතව ඇත.

තවද, නීල හරිත පරිසර සංකල්පය යටතේ කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘති පානම, මිරිස්ස සහ වැල්ලවත්ත යන ප්‍රදේශ ආශ්‍රිතව පවත්වාගෙන යනු ලබන අතර කැස්බෑ බිත්තර සංරක්‍ෂණය කර පැටවුන් එලියට පැමිණි පසු මෙලෙස සාගරයට මුදා හැරීම දක්වා වූ ක්‍රියාවලිය නාවික හමුදාවේ සෘජු අධීක්‍ෂණය යටතේ සිදු කරනු ලබයි.