බලපත්‍ර රහිතව වැලි ගොඩ දැමූ පුද්ගලයින් සිව් දෙනෙකු (04) නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2020 පෙබරවාරි 05 වන දින ගිං ග‍ඟේ බලපත්‍ර රහිතව නීති විරෝධී ලෙස වැලි ගොඩ දමමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු (04) නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, දකුණු නාවික විධානය විසින් ගාල්ල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදි බලපත්‍ර රහිතව නීති විරෝධී ලෙස ගිං ග‍ඟේ වැලි ගොඩ දමමින් සිටි මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත. එහිදී, වැලි කියුබ් එකක (01) ප්‍රමාණයක් සහ වැලි ගොඩ දැමීම සඳහා යොදා ගන්නා උපකරණ තොගයක්ද නාවික හමුදා බාරයට ගැනීමට කටයුතු කරන ලදි. අත්අඩංගුවට පත් පුද්ගලයින් වක්වැල්ල, පෝද්දල සහ ගණේගම දකුණ ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හදුනා ගෙන ඇත.

අදාල පුද්ගලයින්. වැලි කියුබ් එකක (01) ප්‍රමාණය සහ වැලි ගොඩ දැමීම සඳහා යොදා ගන්නා උපකරණ සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු සඳහා තෙලිකඩ සහ බද්දෙගම පොලිස් ස්ථාන වෙත බාර දීමට කටයුතු කෙරිණි. තවද, නීති විරෝධී වැලි ගොඩදැමීම හේතුවෙන් සිදුවන පරිසර හානිය වැලැක්වීම සඳහා නාවික හමුදාව නිරන්තර වැටලීම් සහ සෝදිසි මෙහෙයුම් සිදු කරන අතර, එමඟින් පරිසරය සුරැකීමේ ජාතික ප්‍රතිපත්තියට දායකවීම නාවික හමුදාව අපේක්‍ෂා කරයි.