කේරළ ගංජා කි‍ලෝග්‍රෑම් 110 කට ආසන්න ප්‍රමාණයක් සමග සැක කරුවකු නාවික හමුදා භාරයට.

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ සුරාබදු ඒකකය එක්ව අද (2020 පෙබරවාරි 06) දින යාපනය, තොන්ඩමන්ආරු වෙරළ තීරයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 110 කට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දිවයින වටා ඇති සාගර කළාපයේ සිදු කරනු ලබන නිරන්තර සෝදිසිකිරීම් අතරතුර අද (2020 පෙබරවාරි 06) යාපනය සන්කානේ සුරාබදු ඒකකය සමග එක්ව යාපනය, තොන්ඩමනාරු වෙරළ තීරයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කර තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 110 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමට සමත් වී ඇත. එහිදී සැකකරුවකුද (01) නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, ඔහු වයස අවුරුදු 34 ක් වන පලාලි ප්‍රදේශයේ පදිංචි කරුවකු බවට හදුනාගෙන ඇත.

තවද, ජාවාරම්කරුවන් විසින් මුහුදු මාර්ගයෙන් මත්ද්‍රව්‍ය මෙරටට ගෙන ඒම සදහා සිදුකරන සැළසුම් ව්‍යාර්ථ කිරීම සඳහා නාවික හමුදාව අඛණ්ඩව මෙහෙයුම් සිදු කිරීම හේතුවෙන් මෙම කේරළ ගංජා තොගය සොයා ගැනීමට හැකි වී ඇති අතර, නාවික හමුදා භාරයට ගන්නා ලද කේරළ ගංජා ප්‍රමාණය සහ සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ කටයුතු යාපනය වන්කනේ සුරා බදු ඒකකය විසින් සිදු කරනු ලබයි.