ටොන් එකකට අධික කේරළ ගංජා ප්‍රමාණයක් දින 37ක් තුල නාවික හමුදා භාරයට

මෙම වර්ෂයේ ජනවාරි මස 01 වන දින සිට 2020 පෙබරවාරි 06 වන දින දක්වා කාල වකවානුවේදී පමණක් දිවයින වටා සිදුකරන ලද මෙහෙයුම් මගින් කේරළ ගංජා ටොන් එකකට අධික ප්‍රමාණයක් සිය භාරයට ගැනීමට නාවික හමුදාව සමත්ව ඇත.

ශ්‍රි ලංකා නාවික හමුදාව විසින් 2020 ජනවාරි 01 වන දින සිට පෙබරවාරි 05 වන දින දක්වා දිවයින පුරා සිදු කරන ලද අති සාර්ථක මෙහෙයුම් මාලාවක් මගින් මෙසේ කේරළ ගංජා කිලෝග්‍රෑම් 1102 කට ආසන්න ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට හැකියාව ලැබී ඇත. ඒ අනුව උතුරු නාවික විධානය මගින් කිලෝග්‍රෑම් 890 කට ආසන්න ප්‍රමාණයක් ද, වයඹ නාවික විධානය මගින් කිලෝග්‍රෑම් 181 කට ආසන්න ප්‍රමාණයක් ද , දකුණු නාවික විධානය මගින් කිලෝග්‍රෑම් 15 කට ආසන්න ප්‍රමාණයක් ද, සෙසු නාවික විධානයන් මගින් කිලෝ ග්‍රෑම් 16 කට ආසන්න ප්‍රමාණයක් ද වන ලෙස මෙම කේරළ ගංජා ප්‍රමාණය නාවික හමුදා භාරයට ගැනීමට සිය දායකත්වය ලබා දී ඇත.

දිවයින වටා ඇති මුහුදු ප්‍රදේශය මෙන්ම ගොඩබිම් ප්‍රදේශ ආශ්‍රිතව සිදු කරනු ලබන නිරන්තර සෝදිසි මෙහෙයුම් මගින් මෙලෙස කේරළ ගංජා මෙරටට ගෙන ඒමට උත්සහ කරනු ලබන සහ රට තුල විකිණීමට උත්සාහ කරනු ලබන පුද්ගලයින් නීතිය ඉදිරියට ගෙන ඒමට නාවික හමුදාවට හැකිවී ඇත. තවද, 2019 වර්ෂය තුලදී සිදු කරන ලද මෙවැනි සෝදිසි මෙහෙයුම් මගින්ද කේරළ ගංජා ටොන් 3.4 කට අධික ප්‍රමාණයක් සොයා ගැනිමට නාවික හමුදාව කටයුතු කර ඇති අතර, මෙවැනි නීති විරෝධී ජාවාරම් කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව තවදුරටත් දිවයින වටා ඇති මුහුදු තීරයේ මෙන්ම ගොඩබිම් ආශ්‍රිත ප්‍රදේශයන්හිද නිරන්තර මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.