මුහුදේදී අනතුරට පත් ධීවරයෙකු (01) ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහය.

නාවික හමුදාව විසින් අද (2020 පෙබරවාරි 06) බහුදින ධීවර යාත්‍රාවක අනතුරකට පත්ව සිටි ධීවරයෙකු (01) නිරුපද්‍රිතව ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කරන ලදි.

2020 ජනවාරි 31 වන දින මාගල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු මෙසේ අනතුරට පත්ව ඇති බව ගාල්ල පොලීසිය කල ඉල්ලීමකට අනුව නාවික හමුදා මුලස්ථානයේ උපදෙස් මත දකුණු නාවික විධානයට අයත් යාත්‍රාවක් එම ධීවරයා මුදවා ගැනීමේ මෙහෙයුම සඳහා යෙදවීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, හම්බන්තොට තුඩුවේ සිට නාවික සැතපුම් 20 ක් ඔබ්බට වූ මුහුදු ප්‍රදේශයේදී අනතුරට පත්ව සිටි මෙම ධීවරයා ‍සිටි යාත්‍රාව සොයා ගැනීමට හැකි වී ඇති අතර, මූලික ප්‍රථිකාර ලබා දීමෙන් පසු රෝගියා නිරුපද්‍රිතව හම්බන්තොට වෙත රැගෙනවිත් නාවික හමුදා ගිලන් රථයක් මගින් හම්බන්තොට මහ රෝහල වෙත රැගෙන යාමට කටයුතු කරන ලදි. තවද නාවික හමුදාව විසින් මෙලෙස ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ ආපදාවට පත්වන ධීවර හා නාවික ප්‍රජාව වෙත අවශ්‍ය සහන සැලසීමට නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි.