වැලිසර ඉදිකරන ලද නාවික විවාහක නිවාස සංකිර්ණය නාවික හමුදාධිපතිතුමා අතින් විවෘත කෙරේ

වැලිසර පිහිටි ශ්‍රි ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ අභිනවයෙන් ඉදි කරන ලද නාවික විවාහක නිවාස සංකිර්ණය අද (2020 පෙබරවාරි 06) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා අතින් විවෘත කරන ලදී. ජ්‍යෙෂ්ඨ නාවිකයින් සඳහා ඉදිකරන ලද මෙම නිවාස සංකිර්ණය නිවාස 08 කින් යුක්ත වන අතර, නවීන පහසුකම්වලින් සහ නිවසකට අවශ්‍ය සියළු උපකරණවලින් සමන්විත වේ.

නාවික හමුදා සිවිල් ඉංජිනේරු අංශයේ නිලධාරීන්ගේ සහ නාවිකයන්ගේ පූර්ණ ශ්‍රම දායකත්වය මත නාවික හමුදාව සතු පිරිවැය උපයෝගි කර ගනිමින් මෙම සිව් මහල් නාවික විවාහක නිවාස සංකිර්ණය ඉදි කරන ලදී. තවද, මෙම අවස්ථාව සනිටුහන් කරමින් නාවික හමුදාධිපතිතුමා විසින් පැලයක් රෝපණය කිරීමද එහිදී සිදු කරන ලදී.

මෙම අවස්ථාව සදහා බටහිර නාවික විධානය භාර ආඥාපති සහ අධ්‍යක්ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු ඇතුළු ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් මෙන්ම නිවාස හිමි නාවිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් රැසක් ද සහභාගී වී සිටියහ.