බලපත්‍ර රහිතව හක් බෙල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් අද (2020 පෙබරවාරි 06 ) උඩප්පුව හා දළුව මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී හක් බෙල්ලන් හතරක් (04) සමග සැකකරුවන් දෙදෙනෙක් (02) නාවික හමුදා ‍භාරයට ගන්නා ලදි.

නීති විරෝධී ධීවර කටයුතු මැඩ පැවැත්වීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් දියත් කරනු ලබන අතර, ඒ අනුව අද (2020 පෙබරවාරි 06 ) උඩප්පුව හා දළුව මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී බලපත්‍ර රහිතව හක් බෙල්ලන් අල්ලමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් සහ ඒ අවස්ථාවේ ඔවුන් විසින් අල්ලාගෙන සිටි හක් බෙල්ලන් හතරක් (04) සහ කිමිදුම් කිරීම සඳහා යොදා ගනු ලබන උපකරණ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත.

මෙම සැකකරුවන් කොට්ටම්තිවු සහ මධුරන්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හදුනාගෙන ඇති අතර, එම සැක කරුවන් දෙදෙනා, හක් බෙල්ලන් සහ කිමිදුම් කිරීම සඳහා යොදා ගන්නා ලද උපකරණ සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා පුත්තලම, ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදි.