අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල සැමරුම් මාර්ග ධාවනය

අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිලයේ (Council International Sports Military – CISM) සංවත්සරය නිමිත්තෙන් එහි සාමාජික රටවල සහභාගිත්වයෙන් වාර්ෂිකව සංවිධානය කරනු ලබන අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල සැමරුම් මාර්ග ධාවනය මෙවරත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සංවිධානයෙන් ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඇතුළු සම්භාවනීය ආරාධිතයන්ගේ සහභාගීත්වයෙන් කොළඹ, ගාලු මුවදොරදී 2020 පෙබරවාරි 18 වන දින 0530 පැයට පැවැත්විමට සියළු කටයුතු සූදානම් කර ඇත.

හමුදා පසුබිමක් සහිත පුද්ගලයින් තුළ ද ක්‍රීඩාවට ඇති නැඹුරුතාව වර්ධනය කිරීමේ අරමුණ ඇතිව 2006 වසරේදි අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල සැමරුම් මාර්ග ධාවනය ආරම්භ වූ අතර, එමඟින් ක්‍රීඩා සම්මේලන, ඔලිම්පික් කමිටු වැනි ක්‍රීඩාවන් සම්බන්ධ පාර්ශවකරුවන් සහ අනෙකුත් ජාත්‍යාන්තර සංවිධාන, සන්නද්ධ හමුදාවන් සමඟින් ඒකාබද්ධව කටයුතු කිරීමට අවස්ථාව උදාවී ඇත. ඒ අනුව, මෙම සුවිශේෂි ධාවනය 2006 වර්ෂයේ සිට සෑම වර්ෂයකම පෙබරවාරි මස 18 වන දින ලොව පුරා එහි සාමාජික රටවල පැවැත්වේ.

සන්නද්ධ හමුදා දායකත්වයෙන් ක්‍රීඩාව තුලින් සාමය ලඟාකර ගැනීම යන උදාර ‍තේමාව පෙරදැරි කර ගනිමින් 1948 පෙබරවාරි 18 දින ප්‍රංශය, බෙල්ජියම, නෙදර්ලන්තය, ලක්සම්බර්ග් සහ ඩෙන්මාර්කය යන රටවල හාමුදාවන්ගේ දායකත්වයෙන් පිහිටුවන ලද අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිලයේ සංවත්සරය සහ එහි සමාරම්භය සිහිගන්වනු පිණිස පැවැත්වෙන වැදගත්ම අංගය ලෙස මෙම අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල සැමරුම් මාර්ග ධාවනය හැඳින්විය හැකිය.

අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිලයේ සහයෝගිතා මුලධර්ම සමඟ අත්වැල් බැඳගනිමින් ක්‍රියාත්මක වන මෙම ධාවන තරඟය ලෝක සාමය උදෙසා කදිම දායකත්වයක් ලබා දෙන අතරම එය ලොව වටා සිටින සාමාජිකයින් අතර සම්ප්‍රදායක් බවට ද පත්වෙමින් ඇත. වාර්ෂිකව හමුදා ක්‍රීඩා ශූරතාවයන් 20ක් සංවිධානය කරනු ලබන අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිලය එහි මාර්ග ධාවනය සඳහා කෙටි දුර හෝ දිගු දුර ධාවනය හෝ ඇවිදීම වැනි ක්‍රීඩා ඉසව් ඇතුලත් කර ඇත. අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිලයේ තේමාව වන ‘ක්‍රීඩාව තුලින් මිත්‍රත්වය’ යන ආදර්ශ පාඨය ලොව පුරා එහි සාමාජික රටවල් 139 ක වෙසෙන හමුදා සාමාජිකයින් වෙත ලඟාකරවීම මෙම වැඩසටහනේ ප්‍රධානතම අරමුණ වන අතර, ඒ අනුව ලොව පුරා වෙසෙන හමුදා සාමාජිකයින් ක්‍රීඩාවේ සහ සාමයේ නාමයෙන් මෙම දිනය සඳහා සිය දායකත්වය ලබාදේ.

තවද, මේ සඳහා එක්වන සියලු පාර්ශවකරුවන් සිය විවිධ වූ ශාරිරික ශක්තිය, ක්‍රීඩා හැකියාව, සමාජ තත්වය සහ ස්ත්‍රි පුරුෂ භාවය හෝ වයස වැනි කරුණු මදකට අමතක කර ලෝක සාමය නම් උතුම් සංකල්පය ප්‍රමුඛ ‍කොටගෙන ක්‍රීඩාවේ නිරතවිම විශේෂත්වයකි.