ඉන්දියානු සාගර කලාපීය සහයෝගීතා සංවිධානයේ නියෝජිතයින් වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව පවත්වනු ලබන තවත් පාඨමාලාවක් ත්‍රීකුණාමලයේදී

ඉන්දියානු සාගර කලාපීය සහයෝගීතා සංවිධානයේ නියෝජිතයින් වෙනුවෙන් පවත්වනු ලබන නෞකා හා යාත්‍රාවලට ප්‍රවිශ්ඨ වීමත්, ඒවා සෝදිසි කිරීමේ ක්‍රියාපටිපාටීන් හා ක්‍රමෝපායන් පිළිබඳ තවත් එක් පාඨමාලාවක් 2020 පෙබරවාරි 10 වන දින ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථානයේ පුහුණු පාසලේදී ආරම්භ කෙරුණි.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත ක්‍රියාත්මක කරනු ලබන මෙම පුහුණු පාඨමාලාවේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථානයේ පුහුණු නිලධාරි, කොමාණ්ඩර් නිශ්ශංක වික්‍රමසිංහ සහභාගී වූ අතර, මෙම පාඨමාලාව හැදෑරීම සඳහා බංගලාදේශ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයෙක් (01) නාවික දියත් විධානයේ පුද්ගලයින් 08ක් සහ විශේෂ යාත්‍රා බලඝණයේ නාවික පුද්ගලයින් 07 ක් සහභාගීවී වනු ලබයි.

මෙම පාඨමාලාව දින 12 ක කාලසීමාවක් ත්‍රිකුණාමලය විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථාන‍ පරිශ්‍රයේදී පැවැත්වෙන අතර, මෙම පාඨමාලාව තුළදී ප්‍රධාන වශයෙන් මත්ද්‍රව්‍ය හඳුනා ගැනීම, ලෝකයේ මත්ද්‍රව්‍ය හුවමාරු කිරීමේ ක්‍රම, සූදානම් කිරීම හා ප්‍රවාහනය මැඩපැවැත්වීම පිළිබඳව දැනුමක් ලබා දීමට කටයුතු කරනු ලබයි.