කේරළ ගංජා සමග සැකකරුවන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය.

නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2020 පෙබරවාරි 11 වන දින මූතූර් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා ග්‍රෑම් 500ක පමණ ප්‍රමාණයක් සමග පුද්ගලයින් දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගැනීමට සමත්වී ඇත.

2020 පෙබරවාරි 11 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාව මූතූර් පොලිසිය සමඟ එක්ව මූතූර් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මාර්ගයේ යතුරු පැදියක ගමන් ගත් සැකකටයුතු පුද්ගලයින් දෙදෙනෙක් (02) නිරීක්‍ෂණය කර ඇති අතර, එම යතුරු පැදිය නවතා වැඩිදුර පරීක්‍ෂා කිරීමේදී යතුරු පැදියේ ගමන් ගත් පුද්ගලයින් සතුව තිබී කේරළ ගංජා ග්‍රෑම් 500ක පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිවී ඇත. නාවික හමුදාව විසින් මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සදහා සිදු කරනු ලබන නිරන්තර සෝදිසි මෙහෙයුම් හේතුවෙන් මෙම කේරළ ගංජා ග්‍රෑම් 500ක ප්‍රමාණය සොයා ගැනීමට හැකිවී ඇති අතර, මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින් වයස අවුරුදු 20 ත් 24ත් යන වයස් වල පසුවන මූතූර් ප්‍රදේශයේම පදිංචි කරුවන් බවට හදුනා ගෙන ඇත.

එසේම, අත්අඩංගුවට ගත් පුද්ගලයින්, කේරළ ගංජා ග්‍රෑම් 500ක පමණ ප්‍රමාණය සහ යතුරු පැදිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු මූතූර් පොලීසිය විසින් සිදුකරනු ලබයි.