නාවික හමුදාධිපතිතුමා වයඹ නාවික විධානයේ සංචාරයක නිරත වෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා 2020 පෙබරවාරි 11 සහ 12 යන දෙදින තුල වයඹ නාවික විධානයේ සංචාරයක නිරත විය. එහිදී වයඹ නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් රුවන් පෙරේරා විසින් නාවික හමුදාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගත් අතර, නාවික හමුදා විශේෂ සම්මාන ආචාර මුරයක් ද එතුමා වෙත පුද කෙරිණි.

පළමුව නාවික හමුදාධිපතිතුමන්, ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අයත් බත්තලන්ගුන්ඩුව නාවික අණුඛණ්ඩයේ සංචාරයක නිරතවී, ඔහුග‍ේ සංකල්පය සහ සැලසුමක් මත එහි ඉදිකරන ලද නව ජැටිය විවෘත කිරීම සිදු කරන ලදි. මෙම නව ජැටිය විවෘත කිරීමත් සමග නාවික හමුදා රාජකාරි අවශ්‍යතා මෙන්ම බත්තලන්ගුණ්ඩුව දූපතේහි වෙසෙන ධීවර ප්‍රජාව ඇතුළු සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා අවශ්‍යතාවයන් වඩාත් පහසුවෙන් ඉටු කර ගැනීමට අවස්ථාව සැලසේ. ඉන් පසු නාවික හමුදාධිපති විසින් වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා භරණ, ශ්‍රී ලංකා නාවික නෞකා තේරඵුත්ත, ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ මූලස්ථානය සහ නාවික ස්ථානගත කිරීම මහව යන ආයතවල සංචාරය කරන ලද අතර, එහිදී නව නිලධාරී නිවස්නයක් සහ නාවිකයන්ගේ සුභසාධනය වෙනුවෙන් ඉදි කරන ලද නිවස්නයක් විවෘත කිරීම සිදු කරන ලද අතර, නව නිවස්නයක් සඳහා මුල්ගල් තැබීමද සිදු කරන ලදි.

තවද එම ආයතනයන්ට අනුයුක්ත නිලධාරින් සහ නාවිකයින් ඇමතීමෙන් අනතුරුව, පැවරී ඇති රාජකාරීන් මැනවින් ඉටු කිරීම උදෙසා අවශ්‍ය උපදෙස් රැසක් ඇතුළු ඉතා වැදගත් කරුණු අවධාරණය කරන ලදි. තවද මෙම අවස්ථාව සනිටුහන් කරමින් සංවිධානය කර තිබූ පැළ සිටුවීමේ අවස්ථාවකටද සහභාගී වූ නාවික හමුදාධිපති තුමන් වයඹ නාවික විධාන සංචාරය සාර්ථක ලෙස නිමා කරන ලදී.