ඩිංගි යාත්‍රාවක් තුල හටගත් ගින්නක් මැඩලීමට නාවික හමුදා සහාය.

අද (2020 පෙබරවාරි 13) නුවරඑළිය ග්‍රෙගරි වැවේ ජැටියක නවතා තිබූ සංචාරයකයින් ප්‍රවාහනය කරනු ලබන ඩිංගි යාත්‍රාවක හදිසියේ හටගත් ගින්නක් මැඩපැවැත්වීමට නාවික හමුදාව සිය දායකත්වය ලබා දෙන ලදී.

දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශණය දිනාගත් නුවරඑළිය, ග්‍රෙගරි වැව වෙත පැමිණෙන පුද්ගලයින්ගේ ජීවිත ආරක්‍ෂාව සඳහා නාවික හමුදාව විසින් විශේෂ කණ්ඩායමක් අනුයුක්ත කර සිටින අතර, එම කණ්ඩායමේ විමසිලිමත් භාවය හේතුවෙන් අවස්ථා ගණනකදී ග්‍රෙගරි වැවේ අනතුරට පත් දේශිය මෙන්ම විදේශීය පුද්ගලයින්ගේ ජීවිත ගලවා ගැනීමට සමත් වී ඇත. මෙම කණ්ඩායම විසින්, අද (2020 පෙබරවාරි 13) නුවරඑළිය ග්‍රෙගරි වැවේ ජැටියක නවතා තිබූ සංචාරයකයින් ප්‍රවාහනය කරනු ලබන ඩිංගි යාත්‍රාවක ඇති වු ගින්නක් නිරීක්‍ෂණය කර ඇති අතර, ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීම හා මුදවා ගැනීම් කණ්ඩායමේ නාවිකයින් විසින් ගින්න පැතිරීම පාලනය කර ඒ අසල නවතා තිබූ අනෙකුත් යාත්‍රාවන්ට ගින්න පැතිරීම වළක්වමින් එම ගින්න සාර්ථකව නිවා දැමීමට කටයුතු කර ඇතිවීමට ගිය විශාල අනතුරක් වළක්වා ගැනීමට සමත් විය.