වෙරළ පරිසර පද්ධතිය සුරක්‍ෂිතව තබා ගැනීමට නාවික හමුදා දායකත්වය

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන වෙරළ පිරිසිඳු කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහන් කිහිපයක් නැගෙනහිර, දකුණු, උතුරු මැද සහ ගිණිකොණ යන නාවික විධානයන් කේන්ද්‍ර කරගනිමින් 2020 පෙබරවාරි 10 ,15 සහ 16 යන තෙදින තුළ ක්‍රියාත්මක කරන ලදි.

ඒ අනුව නැගෙනහිර නාවික විධානය මගින් ත්‍රිකුණාමල නාවික කවුරු පරිශ්‍රයේ පිහිටි සැන්‍ඩි‍‍‍බේ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී. එමෙන්ම, දකුණු වෙරළ තීරය ද පිරිසිඳු කිරීමේ වැඩසටහනක් සඳහා සිය දායකත්වය සැපයීමට නාවික හමුදාව කටයුතු කරන ලද අතර, එහිදී දකුණු නාවික විධානය මගින් ගාල්ල දෙවට ආශ්‍රිත වෙරළ තීරය, තංගල්ල පරවිවැල්ල වෙරළ තීරය, බූස්ස සිට රජ්ගම දෙසට වෙරළ තීරය සහ ඉදිවින්න ආශ්‍රිත වෙරළ තීරයන් පිරිසිඳු කිරීමට කටයුතු කරන ලදී. එමෙන්ම උතුරුමැද නාවික විධානය මගින් තලෙයිමන්නාරම් ‘පියර්ගම’ වෙරළ තීරයද ගිණිකොන නාවික විධානය මගින් පොතුවිල් උල්ල වෙරළ තීරය යන වෙරළ තීරයන් පිරිසිඳු කිරීමට කටයුතු කරන ලදි. එසේම මෙම වෙරළ පිරිසිඳු කිරීම් කටයුතු සදහා පාසල් සිසුන්, සිවිල් පුද්ගලයින්ගේ සහයද ලබා දී තිබූ අතර, දැඩි ලෙස දූෂණයට ලක්ව තිබූ වෙරළ තීරයන් පිරිසිඳු කිරීමේ කටයුතු සඳහා දායක වූ සියළුදෙනාගේ දැඩි කැපවීම මත අපද්‍රව්‍ය වලින් තොර වෙරළ තීරයන් බවට පත් කිරීමට හැකියාව ලැබිණි.

තවද, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත සියළු නාවික විධානයන් කේන්ද්‍ර කරගනිමින් දිවයින වටා වූ වෙරළ තීරය අලංකාරවත්ව සහ සුන්දර වෙරළ තීරයක් බවට පත් කිරීමට නාවික හමුදාව කටයුතු කර ඇති අතර, එමඟින් දිවයින වටා වූ සියළු වෙරළ තීරයන් දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශණය දිනා ගැනීමට සමත්ව ඇත.


නැගෙනහිර නාවික විධාන‍යේ වෙරළ පිරිසිඳු කිරීමේ වැඩසටහන


දකුණු නාවික විධානයේ වෙරළ පිරිසිඳු කිරීමේ වැඩසටහන


උතුරු මැද නාවික විධානයේ වෙරළ පිරිසිඳු කිරීමේ වැඩසටහන


ගිණිකොන නාවික විධානයේ වෙරළ පිරිසිඳු කිරීමේ වැඩසටහන