උතුරු නාවික විධානය මගින් සංවිධානය කරනු ලැබූ ‘උත්තර පා ගමන’ සාර්ථක ලෙස නිමා කරයි

2020 පෙබරවාරි 16 වන දින උතුරු නාවික විධානය මගින් සංවිධානය කරනු ලැබූ ‘උත්තර පා ගමන’ සාර්ථක ලෙස නිමාවට පත් විය.

නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ උතුරු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් කපිල සමරවීරගේ උපදෙස් මත ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයේ අණදෙන නිලධාරී කපිතාන් මහේෂ් ද සිල්වා විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින්ගේ සෞඛ්‍ය සුභසාධනය වර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය විය.

ඒ අනුව, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ උතුරු විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් කපිල සමරවීර ඇතුළු දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ 350 ක නාවික පිරිසකගෙන් සමන්විතව ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයේ සිට පොන්නාලෙයි හන්දිය දක්වා වන කිලෝමීටර් 17 ක දුර ප්‍රමාණය ගමන් කර මෙම පා ගමන සාර්ථකව අවසන් කරන ලදි.

එමෙන්ම, මෙම වැඩසටහනට සමගාමීව සමාජ සහ සාගර පාරිසරික සංවර්ධන වැඩසටහනක් වශයෙන් පොන්නාලෙයි කළපු ප්‍රදේශයේ කඩොලාන පැල 600 ක් සිටුවීමට ද කටයුතු කරන ලදි. තවද, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් උතුරු ප්‍රදේශයේ ‍තෝරාගත් ස්ථාන කිහිපයක කඩොලාන ශාක රෝපනය කිරී‍ම සිදු කරන අතර, ඒ සඳහා ප්‍රදේශයේ සිවිල් ජනතාව ද උද්යෝගිමත්ව තම සහයෝගය ලබා දීමට කටයුතු කරනු ලබයි.