නීති විරෝධී ලෙස කිමිදුම් කටයුතු වල නිරත වූ පුද්ගලයින් පස් දෙනෙක් (05) නාවික හමුදා භාරයට

පුත්තලම, උඩප්පුව මුහුදු ප්‍රදේශයේ කිමිදුම් කටයුතු වල නිරතවීම සීමා කළ මුහුදු සීමාව තුළ නීති විරෝධි ලෙස කිමිදුම් කටයුතු වල නිරත වූ පුද්ගලයින් පස් දෙනෙක් (05) 2020 පෙබරවාරි 18 වන දින නාවික හමුදාව විසින් සිය භාරයට ගන්නා ලදි.

ඒ අනුව, පුත්තලම, උඩප්පුව මුහුදු ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටි නාවික හමුදා යාත්‍රා මගින් මෙලෙස කිමිදුම් කටයුතු වල නිරත වූ පුද්ගලයින් නිරීක්‍ෂණය කර ඇති අතර, අදාල පුද්ගලයින් සමග ඩිංගි යාත්‍රා දෙකක් ද නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි. මෙලෙස නාවික භාරයට ගත් පුද්ගලයින්, නීති විරෝධි ලෙස කිමිදුම් කටයුතු වල නිරතවෙමින් හක් බෙල්ලන් අල්ලමින් සිටි බව වැඩිදුරටත් කරුණු අනාවරණය විය.

තවද, මෙම පුද්ගලයන් සතුව තිබී කිමිදුම් කටයුතු සඳහා යොදා ගන්නා ඔක්සිජන් ටැංකි දහසයක් (16), පිටත දහන යන්ත්‍ර දෙකක් සහ අනෙකුත් කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගන්නා ලදි. මෙම පුද්ගලයින් වයස අවුරුදු 40 ත් 50 ත් අතර වයස් වල පසුවන පුත්තලම, කොන්තන්තිව් ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණය කරගන්නා ලද අතර, නාවික හමුදා භාරයට ගත් ඩිංගි යාත්‍රා දෙක, උපකරණ සහ පුද්ගලයින් වැඩිදුර විමර්ශන සඳහා පුත්තලම සහකාර ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදි.