කුරුණෑගල, ආරක්‍ෂක විද්‍යා‍ලයේ පැවති ක්‍රීඩා උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති සහභාගී වෙයි

කුරුණෑගල, ආරක්‍ෂක විද්‍යා‍ලයේ 2020 පෙබරවාරි 20 වන දින පැවති ක්‍රීඩා උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා සහභාගී විය. එහිදී විදුහල්පතිතුමන්, ගුරු මණ්ඩලය හා දරුදැරියන් විසින් නාවික හමුදාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් පසු පාසල් තූර්ය වාදක කණ්ඩායම මගින් ප්‍රධාන වේදිකාව වෙත කැඳවාගෙන යන ලදි.

ඒ අනුව, පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දක්‍ෂතා වලින් වර්ණවත් වූ ක්‍රීඩා උත්සවය විවිධ ක්‍රීඩා ඉසව් රාශියකින් සමත්විත වූ අතර, දක්‍ෂතා දැක් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා කුසලාන ප්‍රදානය කිරීමද නාවික හමුදාධිපති තුමන් විසින් සිදු කරන ලදි. එසේම පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් ඉදිරිපත් කරනු ලැබූ සරඹ සංදර්ශනය සහ විශේෂාංගයන් වලින් මෙම අවස්ථාව වඩාත් අලංකාරවත් වූ අතර, කුරුණෑගල දිස්ත්‍රීක්කයේ පවතින ප්‍රමුඛ පෙළ අධ්‍යාපන ආයතනයක් වන ආරක්‍ෂක විද්‍යා‍ලයේ සිසු සිසුවියන්ගේ දක්‍ෂතා ඔප්නැංවූ අති උත්කර්ශවත් උළෙලක් ලෙස මෙම අවස්ථාව සනිටුහන් විය.

තවද, මෙම අවස්ථාව සනිටුහන් කරමින් නාවික හමුදාධිපතිතුමන් වෙත ආරක්‍ෂක විද්‍යා‍ලයේ විදුහල්පතිතුමන් විසින් සමරු තිළිණයක් ලබා දීමට කටයුතු කළ අතර, උත්සවය අවසානයේ නාවික හමුදාධීපතිතුමන් විසින් විද්‍යාලයේ ඉදි කරනු ලබන නව ගොඩනැගිල්ල වෙනුවෙන් ශ්‍රම දායකත්වය දක්වන නාවිකයින් ඇමතීමටද කටයුතු කරන ලදි.