මුහුදු කූඩැල්ලන් 2,450 ක් සමග සැකකරුවන් හත් දෙනෙකු (07) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් අද (2020 පෙබරවාරි 21) යාපනය, අල්ලයිප්පිඩ්ඩි ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් හත් දෙනෙකු (07) නාවික හමුදා භාරයට ගෙන ඇත.

ඒ අනුව උතුරු නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් විසින් යාපනය, අල්ලයිප්පිඩ්ඩි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලද මෙහෙයුමක් අතර තුරදී කිමිදුම් කටයුතු සිදු කරමින් නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් හත් දෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි. එහිදී ඔවුන් විසින් අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 2,450 ක්, ඩිංගි යාත්‍රා දෙකක් (02) සහ කිමිදුම් උපකරණ කිහිපයක්ද නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 33 ත් 46 ත් අතර වයසේ පසුවන ගුරුනගර් ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, එම පුද්ගලයින්, නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන්, ඩිංගි යාත්‍රාව සහ කිමිදුම් උපකරණ ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා යාපනය, ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.