ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ඉන්දියානු නාවික හමුදාව හා එක්ව ඒකාබද්ධ අභ්‍යාසයක් පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රීලංකා ගුවන් හමුදාව, ඉන්දියානු නාවික හමුදාවට අයත් ගුවන් යානාවක් මගින් හදිසි ආපදා තත්වයකදී අනතුරට පත්වන පුද්ගලයින් හා දිවි ගලවාගනු ලබන පුද්ගලයින් සොයා ගැනීම සහ මුදවා ගැනීම පිළබඳ ඒකාබද්ධ පුහුණු අභ්‍යාසයක් පවත්වන ලදී.

ඒ අනුව, 2020 පෙබරවාරි 17 වන දින සිට 20 වන දින දක්වා දින හතරක (04) කාලයක් වීරවිල ගුවන් හමුදා කඳවුරු පරිශ්‍රයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ඉන්දියානු නාවික හමුදාව එක්ව මෙම පුහුණු අභ්‍යාසය පවත්වන ලද අතර, හදිසි ආපදා තත්වයකදී අනතුරට පත්වන පුද්ගලයින් හා දිවි ගලවාගනු ලබන පුද්ගලයින් සොයා ගැනීම සහ මුදවා ගැනීම ප්‍රගුණ කිරීම මෙම පුහුණු අභ්‍යාසයේ මූලික අරමුණ විය. විශේෂ පුහුණුව ලැබූ ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් හය දෙනෙක් (06) ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් පස් දෙනෙක් (05) සහ ඉන්දියානු නාවික හමුදා නිලධාරීන් පස් දෙනෙක් (05) මෙම පුහුණු අභ්‍යාසය සඳහා සහභාගී විය. ඉන්දියානු නාවික හමුදාවට අයත් සමුද්‍ර නීරීක්‍ෂණ ගුවන් යානාවක් (Dornier Aircraft) මෙම අභ්‍යාසය සඳහා යොදා ගන්නා ලදි.

එමෙන්ම, දෙරට අතර අන්‍යෝන්‍ය සහයෝගීතාවය ඉහල නැංවීමටද මෙම අභ්‍යාසය මහත් සේ ඉවහල් විය.