නාවික හමුදාධිපති උතුරු නාවික විධානයේ සංචාරයක

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා 2020 පෙබරවාරි 22 වන දින සිට 24 වන දින දක්වා උතුරු නාවික විධානයේ නිරීක්‍ෂණ සංචාරයක නිරත විය.

ඒ අනුව නාවික හමුදාධිපති විසින් කන්කසන්තුරය වරායේ ඉදිකරමින් පවතින නව ජැටියේ වර්ථමාන ප්‍රගතිය පිළිබඳ නිරීක්‍ෂණ චාරිකා වාරයක නිරත වූ අතර, ඒ සඳහා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා උතුරු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් කපිල සමරවීර ඇතුළු ව්‍යපෘතිය භාර නිලධාරීන් රැසක් සහභාගී වන ලදි. තවද, මෙම සංචාරයේදී සේවා වනිතා ඒකකය මගින් ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයේ පවත්වාගෙන යනු ලබන යෝගට් ව්‍යාපෘතිය සඳහා නව ගොඩනැගිල්ලක් ඉදි කිරීමට සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනිය අරුන්දතී උදිතමාලා ජයනෙත්ති මැතිණිය සහ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් කපිල සමරවීර විසින් මුල්ගල් තැබීමද සිදු කරන ලදි.

මේ සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයේ අණදෙන නිලධාරී ඇතුළු නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් පිරිසක් ද සහභාගී විය.