මුහුදු කූඩැල්ලන් තොගයක් සමග සැකකරුවන් හතර දෙනෙක් (04) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් අද (2020 පෙබරවාරි 25) මන්නාරම, වංකාලේ වෙරළ තීරයේදී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලන ලද පුද්ගලයින් හතර දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගෙන ඇත.

නාවික හමුදාව විසින් දිවයින වටා වූ මුහුදු තීරයන්හි නීති විරෝධී ධීවර කටයුතු මැඩලීම සඳහා නිරන්තර මෙහෙයුම් දියත් කරනු ලබන අතර, එහි තවත් එක් මෙහෙයුමක් උතුරු මැද නාවික විධානයේ නාවිකයින් පිරිසක් විසින් අද (2020 පෙබරවාරි 25) අළුයම මන්නාරම වංකාලේ වෙරළ තීරය කේන්ද්‍ර කර ගනිමින් සිදු කරන ලදි. එහිදී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලන ලද පුද්ගලයින් හතරදෙනෙකු (04) නාවික හමුදා භාරයට ගන්නා ලද අතර, ඔවුන් විසින් අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 350ක පමණ ප්‍රමාණයක්, ඩිංගි යාත්‍රාවක් (01), පිටත දහන යන්ත්‍රයක් (01) සහ ධීවර ආම්පන්න ද නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 31 ත් 53 ත් අතර වයසේ පසුවන වංකාලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, එම පුද්ගලයින්, නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් සහ ඩිංගි යාත්‍රාව ඇතුළු අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා මන්නාරම, ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.