නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 පෙබරවාරි 27 සින්නකුඩුඉරිප්පු ධීවර වරායේදී නීති විරෝධී ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපයේ සාගර සහ මත්ස්‍ය සම්පත සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව ආරක්‍ෂක මුර සංචාරයන් නිරන්තරයෙන් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව 2020 පෙරවාරි 27 වන දින වයඹ නාවික විධානයේ නාවිකයින් පිරිසක් විසින් සින්නකුඩුඉරිප්පු ධීවර වරාය අවට මුහුදු ප්‍රදේශයේ සිදුකල මුර සංචාරයක් අතරතුර නිති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදු කරමින් මසුන් ඇල්ලු පුද්ගලයින් තිදෙනෙක් (03) නැවත සින්නකුඩුඉරිප්පු ධීවර වරාය වෙත පැමිණීමේදී මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට සමත්විය. එහිදී ඔවුන් විසින් අල්ලන ලද මසුන් කිලෝ 12ක්, ඩිංගි යාත්‍රාවක්, කිමිදුම් උපකරණ සහ අනෙකුත් ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 43 ත් 50ත් අතර වයසේ පසුවන පල්ලිවසතුරෙයි සහ කල්පිටිය යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර, එම පුද්ගලයින්, නීති විරෝධී ලෙස අල්ලන ලද මසුන් කිලෝ 12ක්, ඩිංගි යාත්‍රාවක්, කිමිදුම් උපකරණ සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා කල්පිටිය, ධීවර මෙහෙයුම් නිලධාරී වෙත භාර දීමට කටයුතු කරන ලදී.