Table Top අභ්‍යාසය 2020 ත්‍රිකුණාමලයේදී පැවැත්වෙයි

සාමුහිකත්වය තුළින් උවදුරු මැඩපැවැත්වීම යන තේමාව යටතේ හතරවන වේග ප්‍රහාරක මුර යාත්‍රා සමූහය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන Table Top අභ්‍යාසය 2020 පෙබරවාරි මස 27 සහ 28 යන දිනයන්හි ත්‍රිකුණාමලය නාවික තඨාකංගනයේදී පැවැත්වූ අතර, මෙහි ප්‍රධාන අමුත්තා වශයෙන් නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් රුවන් පෙරේරා සහභාගී විය.

විවිධ හදිසි තත්වයන් වලදී ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමේ අවස්ථාව පාර්ශවකරුවන්ට සළසා දීම, එකිනෙකාගේ හැකියාවන් ඒකරාශි කරගැනීම, ගැටළු හඳුනාගැනීම හා ඒවාට සුදුසු විසඳුම් ඉදිරිපත් කිරීම සහ තරුණ නිලධාරීන්ගේ දැනුම දියුනු කිරීම, මෙම වැඩසටහනෙහි අරමුණු වූ අතර, නාවික හමුදාව, ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, පොලිස් මත් ද්‍රව්‍ය නිවාරණ කාර්යංශය සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව යන රාජ්‍ය ආයතන නියෝජනය කරමින් නියෝජිතයින් රැසක් මෙම අවස්තාව සඳහා සහභාගී විය.

එසේම දින දෙකක් පුරා පැවති මෙම අභ්‍යාසය තුළින් ධිවර කර්මාන්තයේ තිරසාරත්වය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරන නීති විරෝධී ධීවර කටයුතු, මත් ද්‍රව්‍ය උවදුර මෙරටින් තුරන් කිරීම, මුහුදේ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය යනාදි කරුණු සම්බන්ධයෙන් අධ්‍යනයට ලක් කරන ලදි.

තවද, මෙම අභ්‍යාසය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, පොලිස් මත් ද්‍රව්‍ය නිවාරණ කාර්යංශය සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ විශේෂඥයින් විසින් දේශන මාලාවක් පැවැත් වූ අතර, එමගින් අභ්‍යාසය සඳහා සහභාගී වූ පුද්ගලයින්ගේ දැනුම වර්ධණය කර ගැනීමට හැකි විය.

දෙවන දිනය තුළ පෙර සඳහන් කරන ලද ව්‍යසනයන් හමුවේ ඒවාට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය සහ විසදුම් පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු අතර, ඒ අනුව වැඩසටහන සාර්ථකව නිමා කිරීමට හැකි විය