වාර්ෂික මුහුදු පිහිණුම් තරඟාවලිය නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් ගල්කිස්ස මුහුදු තීරයේදී පවත්වන ලදි.

ශ්‍රී ලංකා ජලජ ක්‍රීඩා සංගමය විසින් 83 වන වරට සංවිධානය කරන ලද මුහුදු පිහිණුම් තරඟාවලිය 2020 පෙබරවාරි 29 සහ මාර්තු 01යන දිනයන්හි ගල්කිස්ස මුහුදු තීරයේදී පවත්වන ලද අතර, එහි ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සහභාගී විය.

සැතපුම් දෙකකින් (02) යුක්ත වූ මෙම තරඟාවලිය සඳහා පාසල් ක්‍රීඩා කණ්ඩායම්, ක්‍රීඩා සමාජ සහ ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වූ අතර, තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජීවිත ආරක්ෂක නාවිකයින් (4RU) හා මුදවාගැනීමේ යාත්‍රා, මෙන්ම වෛද්‍ය සහයක නාවිකයින්ද යෙදවීමට කටයුතු කරන ලදි.

නාවික හමුදාව නියෝජනය කරමින් මෙම තරඟාවලිය සඳහා සහභාගීවූ ඉංජිනේරු කාර්මික (නැව් කාර්මික) ජීඑස්එන් පෙරේරා විසින් විවෘත අංශයේ දෙවන ස්ථානය හිමි කර ගැනීමට සමත් වූ අතර, නාවික හමුදාධිපති තුමන් විසින් තරඟාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් වෙත සහතිකපත් සහ පදක්කම් පිරිනැමීම සිදු කරන ලදි. තවද, මෙහිදී ශ්‍රී ලංකා ජලජ ක්‍රීඩා සංගමයේ විධායක කමිටුව විසින් නාවික හමුදාධිපති වෙත සමරු තිළිණයක්ද ප්‍රදානය කරන ලදි.